මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා රජය වැඩ කරන වේලාවන් (කාර්යාල වේලාව) අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බංග්ලාදේශය පුරා වෙළඳසැල් හිමියන් සහ කාර්යාල සේවකයින් කල්ඇතිව නිවෙස් බලා පිටත්ව යනවා.
ඊයේ (4) සිට ක්‍රියාත්මක වන පරිදි බංග්ලාදේශය පුරා ඇති සියලුම වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ සවස 6 වන විට වසා දැමිය යුතුයි.
රට පුරා කාර්යාල වේලාවන් ද පැයකින් කපා හැර ඇති අතරල ඒ අනුව සාමාන්‍යයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැවති කාලසටහන වෙනුවට දැන් එය පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි.
බංග්ලාදේශයේ බැංකු ගනුදෙනු මින් ඉදිරියට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා සිදු කෙරෙන අතර බැංකු පස්වරු 4 වන විට වසා දැමිය යුතු වනවා.
කෙසේ වෙතත් හෝටල්, ඔසුසල්, අත්‍යවශ්‍ය සේවා සපයන වෙළඳසැල් සහ ඉක්මනින් නරක් වන ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳපොළවල් සඳහා මෙම සීමා කිරීම් බලපාන්නේ නැහැ.
බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීයි එරට රජය මෙම සීමාවන් පැනවීමට තීරණය කළේ.
අග්‍රාමාත්‍ය තරීක් රහ්මාන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කැබිනට් රැස්වීම පැය තුනකට ආසන්න කාලයක් පැවති අතර එය මධ්‍යම රාත්‍රියට ආසන්න වන විට අවසන් වී තිබෙනවා.
බංග්ලාදේශය විසින් ඩීසල් සැපයුම් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් තමන්ට ලැබී ඇති බවත් රජය මේ වන විට එය පරීක්ෂා කර බලමින් සිටින බවත් ඉන්දියාව බ්‍රහස්පතින්දා තහවුරු කළා.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් අසල්වැසි රටවල් ද සහාය පතා ඉන්දියාවට ප්‍රවේශ වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාව යනු පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන රටක් බවයි.
ඩීසල් සැපයීම සඳහා බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් ලැබී ඇති අතර එය මේ වන විට පරීක්ෂා කර බලමින් පවතින බව ද ඔහු පැවසුවා.




