පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබන 27 වනදා ඉස්ලාමාබාද් නුවරදී විරෝධතා පාගමනක් ද සංවිධාන කර තිබියදීයි.
ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම පුද්ගල නිදහස. භාෂණයේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ.
එහි දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ බාබු රාම් පාන්ට්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
පාකිස්තානය තුළ බරපතළ මර්දනයක් සිදුවෙමින් ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.
මෙම අත්අඩංගුවට ගැනීමද එහි තවත් අවස්ථාවක් බව ඔවුන් නිකුත් කළ නිවේදනය සඳහන් වනවා.
ලබන 27වනදා ඉස්ලාමාබාද් නුවරදී විරෝධතා පාගමනක් සංවිධාන කර ඇත්තේ සිරගත කර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින්.
එහෙත් එම පා ගමන නවතා දමන බවට පාකිස්ථාන රජයේ ඇතැම් නිලධාරින් ප්‍රසිද්ධියේම තර්ජනය කර තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමද මෙම තර්ජනයේම කොටසක් විය හැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ.
එය කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බව ද ඔවුන් පෙන්වා දෙනවා.
පාකිස්ථාන රජය කළ යුතුව ඇත්තේ සාමකාමීව රැස්වීමට සහ නීතියේ සීමාවන්ට යටත්ව පාගමන පැවැත්වීමට ඉඩ සලසා දීම බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහස වන්නේ.
එසේ නොමැතිව විරෝධතා වැළැක්වීමට නීතිවිරෝධීව පියවර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ඇති කැපවීම් සහ වගකීම් ද සිහිපත් කර දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ එම කැපවීම් සහ වගකීම් ඉටුකිරීමට සෙසු සෑම රටක් මෙන්ම පාකිස්ථානය ද බැඳී සිටින බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්ථාන රජයෙන් ඉල්ලීමක් ද කරනවා.
මීට අමතරව ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසත්, එතෙක් ඔහු රඳවා සිටින සිර මැදිරියේදී ඔහුට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්ථාන රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
පවුලේ සාමාජිකයන්ට සහ නීතිඥයන්ට ඉම්රාන් ඛාන් හමුවීමට දෛනිකව අවස්ථාව ලබාදෙන ලෙසද මෙමගින් ඉල්ලීමක් කර තිබෙනවා.
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර සිටින්නේ දූෂණය සම්බන්ධයෙන් වරදකට වසර 14ක සහ රාජ්‍ය ත්‍යාග අවභාවිතය සම්බන්ධයෙන් වරදකට වසර 17ක් සඳහායි.
ඒ අනුව ඔහුගේ සම්පූර්ණ දඬුවම් කාලය වසර 31ක් වනවා.
දැනට වසර තුනක පමණ කාලයක් ඔහු රඳවනු ලැබ සිටින්නේ රාවල්පිණ්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් වන අලීමා, උස්මා සහ නොරින් ලාහෝර් නුවර කොට්ලක්පට් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා ඇතැයි දැන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන් එලෙස රඳවා සිටින්නේ පන්ජාබ් මහජන සාමය පවත්වාගෙන යෑමේ පනතට අනුව දින 30ක කාලසීමාවකට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මීට අමතරව ඉම්රාන් ඛාන්ගේ ලේලියන් සහ බෑනණුවන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනාවුල්ලා මස්තිබෙල්, අහ්සාන් ජමාල් ඛාන් සහ මියන් ගවුස් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.




