ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරුණු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ.

ධවල මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද සහභාගී වී සිටියා.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන තර්ජන වලින් ලෙබනනය ආරක්ෂා කර ගැනීමට ද අමෙරිකාව සහය දෙන බවයි.

ඉදිරි සති කිහිපය තුළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ධවල මන්දිරයට කැඳවා දීර්ඝකාලීන සාම ගිවිසුමක් සඳහා මූලිකත්වය ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ඉරානය සම්බන්ධයෙන් ද අමෙරිකාව තවදුරටත් දැඩි ස්ථාවරයකයි පසුවන්නේ.

ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට තමන් ඉක්මන් නොවන බව පැවසූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව සඳහන් කළා.

කෙසේවෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ අමෙරිකාවේ අනුමැතිය ලැබෙන්නේ නම් ඉරානයට එරෙහිව යළි යුද්ධයක් ආරම්භ කිරීමට සූදානම් බවයි.

එසේ තිබියදී තම රට තුළ පවතින එකමුතුකම බිඳ දැමීමට කිසිවෙකුට නොහැකි බව ඉරාන නායකයින් පවසනවා.