චීනයේ විශාලතම පාරිභෝගික උත්සව සමයක් වන සරත් සෘතු උත්සවය මෙවර නිමා වූයේ වෙළෙන්දන්ගේ සාක්කු පිරී යාමෙන් නොව, හිස් වූ වෙළඳසැල්, අලෙවි නොවූ තෑගි පාර්සල් සහ සිල්ලර වෙළෙන්දන් අතර පැතිර ගිය දැඩි අර්බුදකාරී ස්වභාවයකින් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව සුපිරි වෙළඳසැල්, පලතුරු වෙළඳසැල්, තෑගි භාණ්ඩ සහ 'මූන්කේක්' අලෙවිසැල් පුරා අලෙවිය පසුගිය වසර ගණනාවකටම වඩා පහත වැටී තිබුණි.

මෙවර දක්නට ලැබුණු විශේෂිතම කරුණ වූයේ දැවැන්ත මිල අඩු කිරීම්, විශේෂ වට්ටම් සහ ප්‍රවර්ධන වැඩසටහන් පවා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වීමයි.

දවස පුරා එකම පාරිභෝගිකයෙකු හෝ වෙළඳසැලකට නොපැමිණි බවට වෙළෙන්දෝ මැසිවිලි නැගූහ. උත්සවය අවසන් වීමත් සමඟ අලෙවි නොවූ විශාල මූන්කේක් තොග, පලතුරු පාර්සල්, මත්පැන් සහ අනෙකුත් උත්සව භාණ්ඩ අලෙවි කර ගැනීමට නොහැකිව බොහෝ වෙළෙන්දෝ අසරණ වූහ. මීට ප්‍රධානතම හේතුව වූයේ වෙළඳපොළේ භාණ්ඩ හිඟයක් පැවතීම නොව, පාරිභෝගිකයන් තුළ පැවැති විශ්වාසය බිඳවැටීමයි.

මන්දගාමී ආර්ථික වර්ධනය, ආදායම් මාර්ග පිළිබඳ අවිනිශ්චිතතාව, රැකියා අර්බුද සහ දේපළ වෙළඳපොළේ පවතින පසුබෑම හේතුවෙන් චීන පාරිභෝගිකයෝ වියදම් කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කරති. දේශීය ඉල්ලුම පහත වැටීම සහ පාරිභෝගික විශ්වාසය බිඳවැටීම චීන ආර්ථිකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වසර ගණනාවක් පුරා මැද සරත් උත්සව සමයේ අලෙවිය තීරණය වූයේ ආයතනික තෑගි පිරිනැමීම්, ව්‍යාපාරික සබඳතා සහ සමාජීය බලාපොරොත්තු මතය. නමුත් මෙවර බොහෝ පාරිභෝගිකයන් අධික මිලැති තෑගි පාර්සල් ප්‍රතික්ෂේප කරමින්, අඩු මිල විකල්ප වෙත යොමු වූ අතර නැතහොත් කිසිදු භාණ්ඩයක් මිලදී ගැනීමෙන් වැළකී සිටියහ. අධික මිලැති, සුඛෝපභෝගී මූන්කේක් තෑගි පෙට්ටි අලෙවිය දැවැන්ත ලෙස පහත වැටුණු අතර, සාමාන්‍ය මිලැති හෝ තනි තනිව අසුරන ලද මූන්කේක් මිලදී ගැනීමට පාරිභෝගිකයෝ වැඩි කැමැත්තක් දැක්වූහ.

සරලවම පවසන්නේ නම්, පාරිභෝගිකයන් තවදුරටත් අලංකාර ලෙස ඇසුරුම් කළ භාණ්ඩ, සමාජ තත්ත්වය තහවුරු කිරීම හෝ උත්සව සම්ප්‍රදායන් වෙනුවෙන් පමණක් මුදල් වියදම් කිරීමට සූදානම් නැත. ඔවුන් සෙව්වේ තමන් ගෙවන මුදලට සැබෑ වටිනාකමකි.

මෙම අලෙවිය පහත වැටීමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වූයේ නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳව මතුවූ බරපතල විශ්වාසභංගත්වයයි. අතිශයින්ම බාල මට්ටමේ පැවැති මූන්කේක් පිළිබඳ වීඩියෝ රැසක් අන්තර්ජාලය පුරා වේගයෙන් ප්‍රචාරය විය. මූන්කේක් තුළ තිබී ඇණ, බෝල්ට් ඇණ, ලෝහ කැබලි සහ ඇබ අඩංගු බ්ලේඩ් තල හමු වූ බව පාරිභෝගිකයෝ වාර්තා කළහ. එක් සිදුවීමකදී පුද්ගලයෙකු මූන්කේක් කෑල්ලක් සපන විට ඇණයක් හසු වී දතකට හානි සිදු වූ බවට පැමිණිලි කර තිබූ අතර, තවත් කාන්තාවක් සඳහන් කළේ මූන්කේක් එකක් තුළ තිබී කැඩුණු බ්ලේඩ් තලයක් හමු වූ බවත් ඇය අනූනවයෙන් තුවාල නොවී බේරුණු බවත්ය.

තත්ත්වය තවත් උග්‍ර කරමින්, ඇතැම් මූන්කේක් කොන්ක්‍රීට් මෙන් තද බවත්, ඒවා ගොඩනැගිලි තැනීමට හෝ ආත්මාරක්ෂක ආයුධ ලෙස භාවිත කළ හැකි බවත් කියමින් ජනතාව වීඩියෝ මගින් උපහාසයට ලක් කළහ.

මෙම සිදුවීම් සමූහයත් සමඟ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්, නිෂ්පාදන අධීක්ෂණය සහ තත්ත්ව පාලනය පිළිබඳව සමාජය තුළ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය විය. මින් පෙර මෙවැනි උත්සව සමයන්හිදී තෑගි ලෙස මූන්කේක් මිලදී ගත් පාරිභෝගිකයෝ, මෙම නිෂ්පාදන වෙනුවෙන් මුදල් වියදම් කිරීම සැබවින්ම වටිනවාද යන්න පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.