චීනයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ අවසන් වටයේ තීරණාත්මක සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

වෙළඳ සහ දේශපාලන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර මෙම හමුව සිදුව ඇත්තේ ”ෂොන්ග්නන්හායි” රාජකීය උද්‍යාන පරිශ්‍රයේදීයි.

ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවර ‘ෂොන්ග්නන්හායි‘ උද්‍යානයේ පැවති මෙම සුහද හමුව ඉතා සුවිශේෂී වූයේ මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සඳහා එම ස්ථානය භාවිත කරන්නේ ඉතා කලාතුරකින් වීම හේතුවෙන්.

චීන මධ්‍යම රජයේ නායකයන් වාසය කරන සහ ඔවුන්ගේ කාර්යාලය පිහටා තිබෙනිනේ ”ෂොන්ග්නන්හායි” පරිශ්‍රයේ බවයි පැවසෙන්නේ.

මෙම පරිශ්‍රය අතීතයේදී අධිරාජ්‍ය උද්‍යානයක් ලෙස පැවති බවත්, එහි ඇති දිගු ඉතිහාසය පිළිබඳවත් ජනාධිපති ෂී මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා.

නායකයින් දෙදෙනා ඇවිද ගිය මාවත අසල වූ වසර 490ක් පැරණි වෘක්ෂයක් කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

එහිදී විශේෂ ”චීන රෝස” වර්ගයක බීජ ජනාධිපති ට්‍රම්ප් වෙත තෑග්ගක් ලෙස ලබා දීමට ජනාධිපති ෂී පොරොන්දු වී ඇති අතර, ට්‍රම්ප් එය ඉතා සතුටින් භාර ගනු ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය ඇමතූ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, දෙරට අතර ”නව ද්විපාර්ශ්වික සබඳතාවක්” ගොඩනැගුණු බවත් එය ඉතා සාධනීය ”සන්ධිස්ථානයක්” බවයි.

ධවල මන්දිරය සඳහන් කරන්නේ පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා ඉතා සාධනීය මට්ටමක පැවති බවයි.

කෙසේ වෙතත්, ඇමරිකාවට ලැබුණු මෙම වාසි සහ සහන වෙනුවෙන් චීනය බලාපොරොත්තු වන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ.

ඉරානයට යුද උපකරණ ලබා දීමෙන් වැළකී සිටීමට චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී එකඟ වූ බවයි ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධාපති ට්‍රම්ප් අනාවරණය කර තිබෙන්නේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇති අතර, ඇමරිකාවෙන් බොරතෙල් මිලදී ගැනීමටද චීනය එකඟ වී ඇතිබවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසා ඇත්තේ ඉරාන ගැටුම ”කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූවක්” බවයි.

මෙම ගැටුම තවදුරටත් ඉදිරියට ගෙනයෑමට කිසිදු හේතුවක් නොමැති බවත්, හැකි ඉක්මනින් විසඳුමක් සෙවීම ඇමරිකාවට සහ ඉරානයට මෙන්ම කලාපීය සහ ලෝක සාමයට ද යහපත් වන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසා තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයෙන් අනතුරුව රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින්ද කඩිනමින් චීනයේ සංචාරයකට එක්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.