බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘අක්වාන්‘ සුළි කුණාටුව අද පස්වරුව වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ දෙසට බරව උතුරු දෙසට ගමන් කරමින් පවතින මෙම සුළි කුණාටුව ලබන 19 වනදා උදෑසන වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට තවදුරටත් ප්‍රබල වනු ඇති බවයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.
ඉරානය විසින් නම් කරන ලද මෙම ‘අක්වාන්‘ සුළි කුණාටුව, පසුගිය සති තුන ඇතුළත බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ තුන්වන සුළි කුණාටුව වීමද විශේෂත්වයක්.
නවතම කාලගුණ වාර්තාවලට අනුව මෙම සුළි කුණාටුව ලබන 20 වනදා දහවල් කාලයේදී පැයට කිලෝමීටර් 120ත් 130ත් අතර වේගයකින් සහ පැයට කිලෝමීටර් 145 දක්වා ඉහළ යන තද සුළං සමඟින් අන්ද්‍රා ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතර ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වීමට නියමිතයි.
මෙහි බලපෑමෙන් අද දිනයේ සිටම තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි ඇතුළු අවට දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා.
හෙට සිට වෙරළබඩ අන්ද්‍රා ප්‍රදේශයටත්, නොවැම්බර් 19 සහ 20 යන දිනවලදී අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්රාන්තවලටත් ඉතා තද වැසි ඇතිවිය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව ඔඩිෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවල දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ‘තැඹිලි‘ සහ ‘කහ‘ අවදානම් නිවේදනද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් නොවැම්බර් 21 වනදා දක්වා ධීවර කටයුතු සඳහා මුහුදු නොයන ලෙස එරට ධීවර ප්‍රජාවට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
එමෙන්ම සුළි කුණාටුවෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සඳහා පහත්බිම්වල වෙසෙන ජනතාවට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම අවම වශයෙන් සතියකට ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය රැස්කර තබා ගනිමින් නිල කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අන්ද්‍රා ප්‍රදේශ් ආපදා කළමනාකරණ අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.




