මැදපෙරදිග කලාපීය ආරක්ෂාව සහ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරගැනීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉරානයේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබෙනවා.

සෞදි අරාබිය, පාකිස්ථානය සහ තුර්කිය එක්ව අලුතින් පිහිටුවාගත් මැකා ආරක්ෂක ගිවිසුම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඉරාන ජනාධිපතිවරයා මෙන්ම ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හමුවී ඇති අතර, එහිදී කලාපීය සාමය උදෙසා සාකච්ඡා ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජනපදයේ හමුදා ප්‍රහාර එල්ලවීමේ තර්ජන හමුවේ වුවද ඉරානය රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සඳහා කැපවී සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කර තිබෙනවා.

ඇමෙරිකාව සාකච්ඡා සඳහා අවංක උනන්දුවක් නොදක්වන බවත්, ඔවුන් සාකච්ඡා වෙනුවට තම තීරණ පැණවීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළා.

මේ අතර සෞදි විදේශ අමාත්‍යාංශය ද අවධාරණය කර ඇත්තේ හමුදාමය උත්සන්න වීමක් වැළැක්වීම සඳහා සාකච්ඡා මාර්ග විවෘතව තැබීම අත්‍යවශ්‍ය බවයි.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේදී අදහස් දක්වමින් ඕමාන විදේශ අමාත්‍ය බදර් අල්බුසයිදි ප්‍රකාශ කළේ, ගල්ෆ් කලාපයේ ආරක්ෂක පද්ධතියට ඉරානය ද ඇතුළත් විය යුතු අතර, ඉරානය සකස් කරන කලාපීය ආරක්ෂක වැඩපිළිවෙළක් ස්ථාවර විය නොහැකි බවයි.

එබැවින් කලාපයේ රටවල් විසින්ම තමන්ගේ ආරක්ෂක රාමුව නිර්මාණය කරගත යුතු බවද ඔහු පෙන්වා දි තිබෙනවා.

කලාපීය නොසන්සුන්තා ඉහළ යමින් පවතින පසුබිමක, ඉරාකයේ අල්-ෆාව් හි සිට නාවික සැතපුම් 63ක්ගිනිකොන දෙසින් ගමන් කරමින් තිබූ නෞකාවක ගිනිගැනීමක් සිදුව ඇති බවට තෙවන පාර්ශ්වීය වාර්තා ලැබී ඇති බව එක්සත් රාජධානියේ නාවික වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.