යේමනයේ තායිස් නගරයට ගිනිකොන දෙසින් පිහිටි ගම්මාන කිහිපයකට හවුති කැරලිකරුවන් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවිල් වැසියන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින බවයි එරට රජය මගින් පාලනය වන සබා පුවත් ඒජන්සිය වාර්තා කළේ.

ප්‍රාදේශීය ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ ජබල් සබීර් ප්‍රදේශයේ සබීර් අල්-මවාදිම් සහ අල්-මිස්රාක් යන දිස්ත්‍රික්කවල ගම්මාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, නිවාස රැසකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.