මැදපෙරදිග කලාපයේ පැවති යුද උණුසුම පහව යමින්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ එකඟතාවයක් පිළිබඳ වාර්තා වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම නිමා කිරීමට අදාළව දෙපාර්ශවයම ඉතා කෙටි එකඟතා ලියවිල්ලකට අත්සන් තැබීමට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම පුවතත් සමඟ, මීට පෙර බැරලයක් ඩොලර් 108ක්ව පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල, මේ වන විට ඩොලර් 102 දක්වා පහත වැටී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව සටහනක් තබමින් පවසා ඇත්තේ, ඉරානය සමඟ අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ආරක්ෂා කිරීම සඳහා ආරම්භ කළ ”ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම තාවකාලිකව නතර කරන බවත් ඔහු නිවේදනය කර තිබෙනවා.
ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් පසුගිය කාලය පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණා.
නමුත් නව එකඟතාවය යටතේ දින 30ක සාකච්ඡා වටයකින් පසුව මෙම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමටත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමටත් දෙපාර්ශවයම එකඟ වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ, අමෙරිකාව සාමකාමී මාවතකට කැමති බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ සාර්ථක ගිවිසුමක් බවත් යන්නයි.
කෙසේ වෙතත්, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් පවසන්නේ අමෙරිකාවට පවතින තත්ත්වය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් දන්නා බවයි.
යුද්ධය නිමා කිරීමේ මෙම පියවර පිළිබඳව ඉරානයේ නිල ප්‍රතිචාරය ඉදිරි පැය 48 ඇතුළත ලැබෙනු ඇතැයි අමෙරිකාව බලාපොරොත්තු වනවා.
මෙම සුබවාදී තත්ත්වය හේතුවෙන් යුරෝපා සහ අමෙරිකානු කොටස් වෙළඳපොළවල්ද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




