ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින්, ඊශ්‍රායල නැවත වරක් දකුණු ලෙබනනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් ළමයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනව බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
ප්‍රහාරයට පෙර දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක වැසියන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කර තිබුණා.
හිස්බුල්ලා සංවිධානය සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් සිටින බවත් ඒ නිසා ප්‍රහාර සිදුකරන බවත් පවසමිනුයි ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර තිබුණේ.
කෙසේ වෙතත් සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරන බවට ඊශ්‍රායලය කරන චෝදනා හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, රටට එල්ල වන තර්ජන හමුවේ ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමේ අයිතිය ඊශ්‍රායලයට ඇති බවයි.
සටන් විරාමය උල්ලංඝනය කරමින් හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 19 හැවිරිදි ඊශ්‍රායල සෙබළෙකු මියගිය බව ද එසේ තිබියදී තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ද බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියා.
මේ අතර, ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පකිස්ථානයේ සංචාරයක නිරත වනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද දෙරට අතර පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති පසුබිමක, ඉරාන විදේශ අමාත්‍යවරයා හෙට දිනයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හමුවීමට ද නියමිතයි.



