බංග්ලාදේශයේ සරම්ප සහ සරම්ප වැනි රෝග ලක්ෂණ හේතුවෙන් තවත් ළමුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය මාර්තු මැද භාගයේ සිට මේ දක්වා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 294 දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ නිවේදනයකට අනුව, පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,260 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, ඒ සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 45,800 ඉක්මවා තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් අගනුවර වන ඩකා නගරයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 149 කි.
ජීවිතාරක්ෂක පහසුකම් ඇතුළු උසස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ඩකා නගරය වෙත පැමිණෙමින් සිටිති.
රට පුරා පැතිර යන මෙම රෝගී තත්ත්වය මධ්‍යයේ පරීක්ෂණ කට්ටලවල (testing kits) දැඩි හිඟයකට ද බංග්ලාදේශය මුහුණ දී සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාසයේ ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 64 කින් 58 කට එනම් 91% කට සරම්ප ආසාදනය පැතිර ගොස් ඇති බවයි.
මෙය "ජාතික මට්ටමින් පුළුල් සම්ප්‍රේෂණයක්" පෙන්නුම් කරන බව ඔවුහු පවසති.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට විශේෂ එන්නත් කිරීමේ ව්‍යාපාර ආරම්භ කර ඇත.
අප්‍රේල් මාසයේ සිට බලධාරීන් ළමුන් මිලියන 16.23 කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබේ.
මෙම වසංගත තත්ත්වය එන්නත් ආවරණය පහත වැටීම හා සම්බන්ධ වී ඇති අතර, විශේෂයෙන් 2024 සහ 2025 අතර කාලය තුළ රට පුරා පැවති එන්නත් තොග හිඟය මීට ප්‍රධාන හේතුවක් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
සරම්ප යනු ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ට බලපාන ඉතා වේගයෙන් බෝවන වෛරස් රෝගයකි.
විශේෂයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන හෝ එන්නත් ලබා නොගත් දරුවන් අතර නියුමෝනියාව, මොළයේ ඉදිමීම සහ මරණය වැනි දරුණු සංකූලතා ඇති කිරීමට මෙම රෝගය හේතු විය හැක.
ලොව පුරා එන්නත් මගින් වළක්වා ගත හැකි ළමා මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස සරම්ප රෝගය තවදුරටත් පවතී.




