ෆින්ලන්ත බොක්ක ආශ්රිත මුහුදු තීරයේදී රුසියානු යුද නෞකාවක් ප්‍රහාරයකට ලක්ව ඇති බව ෆින්ලන්ත බලධාරීන් තහවුරු කර තිබෙනවා.
යුක්රේන ආරක්ෂක සේවාව (SBU) ප්‍රකාශ කර ඇත්තේ බෝල්ටික් වෙරළ තීරයේ පිහිටි රුසියාවේ 'උස්ට්-ලුගා' (Ust-Luga) තෙල් අපනයන පර්යන්තය ඉලක්ක කර ගනිමින් දියත් කළ පුළුල් ඩ්‍රෝන මෙහෙයුමක කොටසක් ලෙස 'නාරෝ-ෆෝමින්ස්ක්' (Naro-Fominsk) නමැති මෙම යුද නෞකාවට ප්‍රහාර එල්ල කළ බවයි.
සිවිල් නාවික ගමනාගමනය සඳහා විවෘත බෝල්ටික් මුහුදු කලාපයකදී යුක්රේන ඩ්‍රෝන යානා විසින් රුසියානු නෞකාවකට පහර දුන් පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
ප්‍රහාරයට ලක්වූ මෙම නෞකාව 'කැලිබර්' (Kalibr) සහ 'ඔනික්ස්' (Oniks) වර්ගයේ කෲස් මිසයිල රැගෙන යා හැකි 'බුයාන්-එම්' (Buyan-M) වර්ගයේ කුඩා ප්‍රමාණයේ යුද නෞකාවක් බව යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරනවා.
එමෙන්ම රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයක් ද විනාශ වී ඇති බවට තහවුරු නොකළ වාර්තා පළ වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ප්‍රහාරයෙන් පසු නෞකාවෙන් දුම් පිටවනු දක්නට ලැබුණු බවත් එස්තෝනියානු ආරක්ෂක අමාත්‍ය මාර්ටින් හෙරෙම් (Martin Herem) එරට රාජ්‍ය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ නෞකාව ශාන්ත පීටර්ස්බර්ග් (St Petersburg) දෙසට යාත්‍රා කර ඇති බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් නෞකාවට සිදුවූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර, ප්‍රහාරයත් සමඟ 'උස්ට්-ලුගා' තෙල් පර්යන්තයේ ගබඩා ටැංකි කිහිපයකට ද හානි සිදුව ඇති අතර එහි හටගත් ගින්න එස්තෝනියානු දේශසීමාවට පවා දිස්වී තිබෙනවා.
අදාළ අවස්ථාවේදී බෝල්ටික් කලාපයේ ස්ථානගත කර ඇති නේටෝ (NATO) ගුවන් යානා ගුවන්ගත වී තිබුණද, ඩ්‍රෝන යානා විනාශ කිරීම ආරක්ෂිත නොවන බවට තීරණය කළ බව එස්තෝනියානු ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆින්ලන්ත විදේශ අමාත්‍ය එලීනා වැල්ටෝනන් (Elina Valtonen) ප්‍රකාශ කළේ බෝල්ටික් මුහුදු කලාපයේ තත්ත්වය ස්ථාවර සහ ආරක්ෂිත බවත්, සමුද්‍රීය ගමනාගමනයට කිසිදු තර්ජනයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ෆින්ලන්ත බොක්ක යනු තෙල් නැව්, සිවිල් යාත්‍රා මෙන්ම මුහුද යටින් දිවෙන දත්ත රැහැන් පිහිටි පටු මුහුදු තීරයක් බැවින්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ෆින්ලන්ත ආරක්ෂක අංශ යුක්රේනයට අවධාරණය කර ඇති බව ද වාර්තා වනවා.
රුසියාවට පහර දීම සඳහා තමන් බෝල්ටික් රාජ්‍යයන්හි ගුවන් සීමාව භාවිත කළ බවට මොස්කව් පාලනය නගන චෝදනා පදනම් විරහිත බවයි යුක්රේන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පවසන්නේ.
එහෙත් රුසියාව විසින් ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රම භාවිත කරමින් ඩ්‍රෝන යානා සිය ගුවන් සීමාවෙන් ඉවතට හැරවීමේදී එවැනි සිදුවීම් ඇති විය හැකි බව ද ඔහු පිළිගෙන තිබෙනවා.
2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු කළු මුහුදේදී දෙපාර්ශ්වයේම නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල වුවද, බෝල්ටික් මුහුදේ රුසියානු නාවික හමුදා යාත්‍රාවකට මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



