උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල අදත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

''දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් තමයි තවදුරටත් පවතින්නේ. මේ නිසා අද දිනයේදීත් විශේෂයෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් සහ ඒ වගේම දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඊට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් අපිට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊයේ රාත්‍රී කාලයේත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මිලිමීටර් 100ට වැඩි අපිට වැසි වාර්තා වෙනවා, ගිගුරුම් සහිත වැසි. ඒ වගේම අද දිනයේදීත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන් මේ ගිගුරුම් සහිත වැසිත් සමඟ තරමක් කෙටි කාලයක් තුළ හමන තද සුළං වගේම ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තද තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් කෙටි කාලයක් තුළ ලැබෙන, ඉහළ තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් අද දිනයේදීත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා, මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. විශේෂයෙන් පහත් බිම්වල ජීවත්වන ජනතාව, ඒ වගේම ගංගා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරනවා.

බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස පැහැදිලි කළා.

''බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් මේ වන විට කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙලා තියෙනවා පහළ වායුගෝලයේ. මේ තත්ත්වය හෙට දිනය වෙද්දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් උතුරු දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි දැනට පවතින්නේ. මේ පද්ධතියේ බලපෑම නිසා විශේෂයෙන් නොවැම්බර් මාසයේ 14, 15 සහ 16 දිනවල උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ සමගම විශේෂයෙන් මේ පද්ධතිය, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වර්ධනය වන මේ අඩු පීඩන කලාපය, ක්‍රමයෙන් පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙන නිසා, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් කාලගුණ නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.ඒ වගේම ශ්‍රී ලංකාව ආසන්න මුහුදු කලාපයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන කුඩා ධීවර යාත්‍රා, විශේෂයෙන් අපි ගත්තොත් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන්, ඉදිරියට කාලගුණ නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා ඉදිරි දින කීපයේදී.''

මේ අතර ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයකම ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවා.

''නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟ, කුඩා ගඟත් ඒ වගේම අත්තනගලු ඔයත් සුළු ගංවතුර මට්ටමේ පවතිනවා. නිල්වලා ගඟ අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශ සුළු ගංවතුරට ආසන්න මට්ටමක තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ. ඒ වගේම ගිං ගඟ බද්දේගම සහ ඒ ආසන්නයේ සුළු ගංවතුර තත්ත්වයක් දකින්නට තියෙනවා. නමුත් විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම කළු ගඟේ මාගුර සහ මිල්ලකන්ද ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමට ආසන්නයේ පවතිනවා. නමුත් විශාල වැඩිවීමක් දකින්නට නැහැ. ඒ වගේම කැලණි ගඟ ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් දැනට තිබුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම ගම්පහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමක විශේෂයෙන්ම ඉහළ ප්‍රදේශයේ දූනමලේ සහ ඉන් පහළ ප්‍රදේශ පවතිනවා. නමුත් එතරම් ලොකු විශාල වැඩිවීමක් හෝ විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම මහ ඔය ඇතුළු අනෙකුත් බොහෝ ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් දකින්නට තිබ්බත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැහැ.''

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රිය ධාවනයේදි වඩාත් සැලකිලමත් වන ලෙස පොලීිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා.

''විශේෂයෙන්ම කියන්න ඕනෑ දැන් මේ දවස්වල ගත්තහම අනතුරු වැඩියි. මාරක අනතුරු, බරපතළ අනතුරු, සුළු අනතුරු සහ අලාභ අනතුරු. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේත් මෙහෙම ඒවා සිද්ධ වෙනවා, සාමාන්‍ය මාර්ගවලත් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපි කියලා තියෙනවා රථවාහන රියදුරන්ට, යතුරුපැදිකරුවන්ට විශේෂයෙන් මේ හදිස්සිය කියන කාරණාව මත තමයි මේ ගොඩක් කාරණා වෙන්නේ, මේ අනතුරු. අපි පැහැදිලිවම කියලා තියෙනවා මේ දිනවල වහිනවා සහ අඳුර සහිත තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම හැම රියදුරෙක්ම, විශේෂයෙන් යතුරුපැදිකරුවෙක්ම මතක තියාගන්න ඕනේ තමන්ට පාලනය කරන්න පුළුවන් වේගයෙන් යන්න. විශේෂයෙන් කාල කළමනාකරණය කරන්න. මේ අධික වේගයෙන් යෑම නිසා අන්තිමට වෙන්නේ බරපතළ අනතුරු, මාරක අනතුරු. එහෙම තාවකාලික සහනය සදාකාලික දුකක් බවට පත්වෙන අවස්ථාවන් අපි හැම දවසක් ගානේ මේ අනතුරු පිළිබඳව අධීක්ෂණය කිරීමේදී අපිට පේනවා. ඉතින් මේ තමන්ගේ ගමනක් තියෙනවා නම් තමන් නියමිත කාල කළමනාකරණය කරලා යන්න. උදේට පැයකින් යන්න ඕන ගමන පැය භාගයකින් බැස්සොත් එහෙම ඩබල් කරන්න වෙනවා. විශේෂයෙන් වෙලා තියෙන්නේ වැසි සහිත තත්ත්වයේදී පාර ලිස්සනවා. සහ පාරේ සමහර පාරවල්වල තත්ත්වයත් බලපානවා මේකට. ඒක නිසා ගිහිල්ලා, ලිස්සලා ගිහිල්ලා අනතුරු සිද්ධ වෙනවා. ඊළඟ ඉදිරියෙන් එන වාහනේට යට වෙනවා. ඔය වගේ අනතුරු තමයි බොහෝ සිද්ධ වෙන්නේ.''