ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසානදිග කලාපයට බලපා ඇති ප්‍රබල ”නෝර්ඊස්ටර්” කුණාටු තත්ත්වය හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මේ වන විට එම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, විදුලි බලය බිඳවැටීම්, ගමනාගමන බාධා මෙන්ම ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතව තිබූ විවිධ උත්සව හා තරග රැසක් ද අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිව්යෝර්ක් සහ නිව්ජර්සි ප්‍රාන්ත සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වර්ජිනියා සිට මේන් දක්වා වූ ප්‍රදේශවලට තද වැසි සහ සුළං තත්ත්වයක් පවතින බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ.

මේ අතර නිව්යෝර්ක්හි බෲක්ලින් ප්‍රදේශයේදී අධික සුළඟට ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.