ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රල්හාද් ජෝෂි පත්කර තිබෙනවා.

රට පුරා පැවැති දැවැන්ත තරුණ හා ශිෂ්‍ය විරෝධතා හමුවේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදුකර තිබෙන්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරිය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රල්හාද් ජෝෂි දැනට උසුලන පාරිභෝගික කටයුතු, ආහාර හා පොදු බෙදාහැරීම් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ධුරවලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමද ඉදිරියට ඉටු කරනු ඇති.

මේ අතර ​ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, සති පහක් පුරා කෙරුණු දැවැන්ත ජන අරගලය අවසන් කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

​'කොක්රෝච් ජනතා පක්ෂය' හෙවත් CJP විසින් මෙහෙයවන ලද මෙම විරෝධතාව, ඉන්දීය තරුණ තරුණියන්ගේ සහ සිසුන්ගේ බලවත් නොසන්සුන්තාව සහ විරෝධය ලොවටම හඬගා කී අවස්ථාවක්.​

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ, නවදිල්ලියේ ජන්තාර් මන්තර් විරෝධතා භූමියට රැස්ව සිටි දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් ජයග්‍රාහී ලෙස සමරමින් පීඩනය පිටකරන අයුරු දක්නට ලැබුණා.

​විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම්, අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු සහ රැකියා හිඟයට එරෙහිවයි මෙම විරෝධතාව ආරම්භ වුනේ.

CJP යනු සැබෑ දේශපාලන පක්ෂයක් නොවන අතර, එය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කැරපොත්තෙකුගේ සංකේතයක් භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ එකක්.

ඉකුත්දා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කිරීමටද උත්සාහ කළ අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ගැටුම්වලින් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් තුවාල ලැබූ අතර 300 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කෙරුනු බවයි කියවුණේ.

​තත්ත්වය දැඩි ලෙස පාලනයෙන් ගිලිහී යද්දී, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් තරුණ පරපුරේ අපේක්ෂාවන්ට ගරු කරමින් සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.

​අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අරගලය නිල වශයෙන් අවසන් කළද, CJP සංවිධානයේ නායක අභිජීත් දිප්කේ ප්‍රකාශ කළේ විභාග ගැටලු නිසා සියදිවි නසාගත් සිසුන්ගේ පවුල්වලට සහන සැලසීම සහ විරෝධතාකරුවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් සිය සටන වෙනත් මඟකින් ඉදිරියට ගෙන යන බවයි.