ලොව වඩාත්ම දියුණු අර්ධ සන්නායක චිප්ස් නිෂ්පාදනයෙන් 90% කට වඩා සිදුවන්නේ ඇමෙරිකාව සහ චීනය අතර පවතින දැඩි භූ-දේශපාලනික තරගයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති තායිවානය තුළය.
ස්මාර්ට්ෆෝන්, විදුලි මෝටර් රථ (EV), ගුවන් යානා සහ හමුදා ආරක්ෂක පද්ධති ඇතුළු නූතන ලෝකයේ සෑම තාක්ෂණික මෙවලමකටම මෙම අර්ධ සන්නායක අත්‍යවශ්‍ය වේ. එබැවින් තායිවානයේ චිප් නිෂ්පාදනයට යම් බාධාවක් සිදුවුවහොත්, එය සමස්ත ගෝලීය ආර්ථිකයම දැඩි ලෙස කැළඹීමට ලක්කිරීමේ අවදානමක් පවතී.
කොවිඩ්-19 වසංගත සමයේ ඇති වූ චිප් හිඟය හේතුවෙන් ලොව පුරා මෝටර් රථ නිෂ්පාදනය පවා තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. නැගෙනහිර ආසියාවේ පිහිටි නිෂ්පාදකයින් කිහිප දෙනෙකු මත මුළු ලෝකයම කෙතරම් දුරට රැඳී සිටින්නේද යන්න එමගින් පැහැදිලිවම අනාවරණය විය.
මෙම තත්ත්වයත් සමග වඩාත් ශක්තිමත් අර්ධ සන්නායක සැපයුම් දාමයක් ගොඩනැගීමේ ගෝලීය තරගයක් ආරම්භ වී ඇත. ඒ අනුව චිප් නිෂ්පාදකයින් තම රටවල් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය (EU) මේ වන විටත් ඩොලර් බිලියන ගණනින් වටිනා ව්‍යාපෘති ආරම්භ කර තිබේ.
මෙම ගෝලීය තාක්ෂණික බලවතුන්ගේ ජාලයට එක්වෙමින් ඊළඟ ප්‍රබලතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත්වීම සඳහා ඉන්දියාවද මේ වන විට සිය දැවැන්තම මෙහෙයුම දියත් කර ඇත.
ඒ අනුව ‘සෙමිකොන් 2.0’ (Semicon 2.0) ලෙස නම් කරන ලද ඩොලර් බිලියන 13.2 ක අර්ධසන්නායක වැඩසටහන සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ අනුමැතිය ලබා දුන්නේය.
2021 වසරේදී ආරම්භ කරන ලද ඩොලර් බිලියන 9 ක ‘ඉන්දියා සෙමිකන්ඩක්ටර් මෙහෙයුම’ (ISM) පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් චිප් සැලසුම් කිරීම, නිෂ්පාදනය, උසස් මට්ටමේ ඇසුරුම්කරණය, විශේෂිත අමුද්‍රව්‍ය සහ උපකරණ නිෂ්පාදනය මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම දක්වා වූ සමස්ත චිප් නිෂ්පාදන පද්ධතියම ඉන්දියාව තුළ දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.




