ඉන්දියාවේ නිෂ්පාදිත 'බ්‍රහ්මෝස්' නෞකා නාශක මිසයිල මිලදී ගැනීමෙන් අනතුරුව, තවත් ඉන්දීය අවි පද්ධති දෙකක් මිලදී ගැනීම කෙරෙහි පිලිපීනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
නවදිල්ලිය සමඟ සමීප හමුදාමය ඒකාබද්ධතාවයකට අඩිතාලම දමමින්, වඩාත් ශක්තිමත් ආරක්ෂක පෙරමුණක් ගොඩනඟා ගැනීමට මෙම අවි පද්ධති මැනිලා පාලනයට උපකාරී වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
දෙරටේම ආරක්ෂක අංශවල අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය ඩිජිටල් පුවත් සේවයක් වන 'ෆස්ට්පෝස්ට්' වාර්තා කරන්නේ, 'ආකාශ්' ගුවන් ආරක්ෂක පද්ධති රෙජිමේන්තු පහකට වඩා වැඩි ප්‍රමාණයක් සහ 'පිනාකා' රොකට් විදින බැටරි කිහිපයක් මිලදී ගැනීමට පිලිපීනය සැලසුම් කරමින් සිටින බවයි.
පිලිපීනය තවදුරටත් බ්‍රහ්මෝස් මිසයිල මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත්, තම රටේ භූගෝලීය පිහිටීමට සහ යටිතල පහසුකම්වලට වඩාත් හොඳින් ගැළපෙන පරිදි ඒවායේ සිදු කළ යුතු වෙනස්කම් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවත් පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ තියඩෝරෝ තහවුරු කර සති දෙකක් ගතවීමත් සමඟ මෙම නව වාර්තාව නිකුත් වී තිබේ.




