ආරක්ෂක නිෂ්පාදන, නවෝත්පාදන, උසස් තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), සයිබර් ආරක්ෂාව, මිලිටරි පුහුණුව සහ සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකඟ වී තිබේ.

අබුඩාබි නුවරදී පැවති 14 වැනි ඉන්දු-එක්සත් අරාබි එමීර් ඒකාබද්ධ ආරක්ෂක සහයෝගීතා කමිටු රැස්වීමේදී මෙම එකඟතාවට එළඹ ඇත. ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉදිරි පරම්පරාවේ ආරක්ෂක උපකරණ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සහ ඒකාබද්ධව නිෂ්පාදනය කිරීමේ හවුල්කාරිත්වයන් වේගවත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. මෙම රැස්වීමේ සම-මුලසුන ඉන්දියාවේ ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලුතිනන් ජෙනරාල් ඊබ්‍රහිම් නසාර් එම්. අල් අලාවි විසින් දරනු ලැබීය.

ඉන්දීය නියෝජිත පිරිසට ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය ආරක්ෂක හමුදා, ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියහ.

දෙරටේ සමාගම් අතර ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඇති කිරීමට පහසුකම් සැලසීම සඳහා ඉන්දීය ආරක්ෂක කර්මාන්තයේ නියෝජිත පිරිසක් ද නිල නියෝජිත පිරිස සමඟ එක්ව සිටියහ. රැස්වීමට සමගාමීව ඉන්දීය සහ එක්සත් අරාබි එමීර් ආරක්ෂක කර්මාන්ත අතර ව්‍යාපාරික සාකච්ඡාවක් ද සංවිධානය කර තිබුණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය සගයන් සමඟ ඇති කරගත හැකි සහයෝගීතා ක්ෂේත්‍ර සොයා බැලීම සඳහා ඉන්දීය කර්මාන්ත නියෝජිත පිරිස තවාසුන් කාර්මික උද්‍යානයේ සංචාරයක නිරත වූ අතර තවාසුන් ආර්ථික කවුන්සිලය සමඟ සාකච්ඡා ද පැවැත්වූහ.

මේ අතර, ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිස, ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් බින් මුබාරක් ෆාදෙල් අල් මස්රූයි ද හමුවූහ.