ඉන්දු-පැසිෆික් කලාපය තුළ පවතින දැඩි යුදමය සහ දේශපාලනික තරගකාරිත්වය හමුවේ, ජර්මානු සැලසුමකට අනුව ඉන්දියාවේදීම නිපදවීමට නියමිත නවතම පරම්පරාවේ සබ්මැරීන මඟින් සිය නාවික හමුදාව ශක්තිමත් කිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් ප්‍රකාශ කර ඇති අන්දමට, ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වටිනා මෙම දැවැන්ත ගිවිසුමට එළඹෙන ගිම්හාන සෘතුවේදී අත්සන් තැබීමට නියමිතය.
වත්මන් ලෝක දේශපාලනය තුළ ඉන්දු-පැසිෆික් කලාපය වඩාත් උණුසුම් මුහුදු කලාපයක් බවට පත්වෙමින් පවතින අතර, එහි බලය තහවුරු කරගැනීම සඳහා සබ්මැරීන සතු කාර්යභාරය අතිශය තීරණාත්මක වී ඇත.
විශේෂයෙන්ම කලාපය තුළ චීනයේ නාවික බලය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත්, බෙයිජිං පාලනය සමඟ පාකිස්තානය පවත්වන සමීප මිලිටරි සබඳතාවල ගැඹුරු වීමත් හේතුවෙන් ඉන්දියාව මෙම ආරක්ෂක පියවර කඩිනම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවීමට නියමිතව ඇත්තේ ජර්මනියේ තිසන්කෘප් මැරීන් සිස්ටම්ස් (Thyssenkrupp Marine Systems - TKMS) සමාගම විසින් සැලසුම් කරන ලද ‘Type 214’ මාදිලියේ සබ්මැරීන වේ.
මේවා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ඒවා නොවන අතර, ඩීසල් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වේ.
එහෙත්, මේවා සතු සුවිශේෂී වටිනාකම වන්නේ ඒවායෙහි අන්තර්ගත "වාතයෙන් ස්වාධීන ප්‍රචාලන පද්ධතිය" නැමැති අතිනවීන තාක්ෂණයයි.
මෙම තාක්ෂණය හේතුවෙන්, සාමාන්‍ය සබ්මැරීනවලට වඩා බෙහෙවින් වැඩි කාලයක් ජලයෙන් යටවී සිටීමට මේවාට හැකියාව ලැබෙන බැවින්, සතුරන්ගේ රේඩාර් පද්ධතිවලට හසුකර ගැනීම අතිශය අපහසු වන අතර අධික නාවික තදබදයක් සහිත මුහුදු සීමාවන්හි නිරීක්ෂණ කටයුතු සඳහාද වඩාත් සුදුසු වේ.
කිලෝමීටර් 11,000කට (සැතපුම් 6,840කට) වඩා දිගු වෙරළ තීරයකට හිමිකම් කියන ඉන්දියාවේ සමස්ත වෙළඳ පරිමාවෙන් 90%කට වඩා සිදුවන්නේ මුහුදු මාර්ගයෙනි.
එහෙත්, ඉන්දියානු සාගර කලාපය තුළ මුහුදු ගමනාගමනයට බාධා කළ හැකි පටු සමුද්‍රීය සන්ධි කිහිපයක්ම පිහිටා ඇත.
එබැවින් මෙම නාවික මාර්ගයන්ට එල්ල වන ඕනෑම ආකාරයක තර්ජනයක් සෘජුවම ඉන්දියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බැවින්, මෙම නව සබ්මැරීන බලඇණිය ඉන්දියාවේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.



