සංචාරක කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය, පර්යේෂණ සහ ව්‍යාපාරික කටයුතු සඳහා විදේශිකයන්ට ඉන්දියාවට පැමිණීම වඩාත් පහසු කිරීමේ අරමුණින්, ඉන්දීය රජය සිය වීසා ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදු කරන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, පැවති ප්‍රධාන වීසා කාණ්ඩ සංඛ්‍යාව 13 සිට නවය දක්වාත්, උප කාණ්ඩ සංඛ්‍යාව 49 සිට 23 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, වීසා අයදුම්පත් සරල කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇති අතර, ඒ යටතේ නව වීසා උප කාණ්ඩ 23 සඳහාම අයදුම්පත්වල පිරවිය යුතු තොරතුරු කොටස් සංඛ්‍යාව සියයට 65ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩු කර තිබේ.
2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන වීසා කාණ්ඩ සංඛ්‍යාව සංශෝධනය කරමින් සිදු කළ පෙර ප්‍රතිසංස්කරණයට සමගාමීව මෙම නවතම පියවර ගෙන ඇත.
මෙම වෙනස්කම් සිදු කිරීමට පෙර සංවර්ධිත රටවල වීසා පද්ධති සහ ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කළ බව ඉන්දීය රජය සඳහන් කරයි.
මෙම ප්‍රතිසංස්කරණවල වඩාත් කැපී පෙනෙන වෙනසක් වන්නේ මෙතෙක් පැවති 'සංචාරක වීසා' කාණ්ඩය 'අමුත්තන්ගේ වීසා' ලෙස නැවත නම් කිරීමයි. සාම්ප්‍රදායික සංචාරක කටයුවලින් ඔබ්බට ගොස් ව්‍යාපාරික හමුවීම්, වෛද්‍ය උපදේශන, සුවතා වැඩසටහන් සහ කෙටිකාලීන සංස්කෘතික හා අධ්‍යාපනික පාඨමාලා ඇතුළු පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රැසක් මෙම නව වීසා කාණ්ඩය යටතේ ආවරණය කෙරේ.




