ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති ආර්ථික පීඩනය හමුවේ, පුළුල් පිරිමැසුම්දායක සහ ඉන්ධන සුරැකීමේ පියවරක් ලෙස තම පරිවාරක රථ පෙළෙහි ප්‍රමාණය සියයට 50 කින් අඩු කිරීමට සහ විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝග කර ඇති බව India Today වාර්තා කරයි.

රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කළේ අනිවාර්ය ආරක්ෂක ප්‍රොටෝකෝලයන්ට හානියක් නොවන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ පරිවාරක රථ පෙළෙහි ඇති වාහන සංඛ්‍යාව අඩු කරන ලෙස විශේෂ ආරක්ෂක බලකාය (SPG) වෙත උපදෙස් දී ඇත.

විශේෂ ආරක්ෂක බලකාය මේ වන විටත් එම උපදෙස් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

අලුතින් කිසිදු වාහනයක් මිලදී නොගත යුතු බව පැහැදිලි කරමින්, පරිවාරක රථ පෙළ සඳහා විද්‍යුත් වාහන වැඩි වශයෙන් භාවිතා කරන ලෙස ද අග්‍රාමාත්‍ය මෝදි නිලධාරීන්ට පවසා ඇති බව ආරංචි මාර්ග පැවසීය.

ගෝලීය තෙල් මිල ඉහළ යාමේ ආර්ථික බලපෑමට මුහුණ දීමට ඉන්දියාව සූදානම් වන බැවින්, වසරක් පුරා රන් මිලදී ගැනීම්වලින් වැළකී සිටීම, අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර කල් දැමීම සහ ඉන්ධන පරිභෝජනය අඩු කිරීම ඇතුළු පිරිමැසුම්දායක පියවරයන් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් දින කිහිපයකට පසුව මෙම පියවර ගෙන ඇත.

පිරිමැසුම්දායක පියවර සම්බන්ධයෙන් පෙරමුණ ගනිමින්, අග්‍රාමාත්‍ය මෝදි මෑතකදී ගුජරාටය සහ ඇසෑමය ඇතුළු ප්‍රාන්තවල සිදු කළ සංචාරවලදී සිය පරිවාරක රථ පෙළෙහි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර තිබුණි.