දිගුදුර ප්‍රහාරක බලයක් සහිත නවීන මිසයිල පද්ධති ඉන්දියාව විසින් ග්‍රීසියට ලබා දීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තුර්කි මාධ්‍ය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
තුර්කි මාධ්‍ය වාර්තාවලට අනුව, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තුර්කියේ දේශීය ආරක්ෂක කර්මාන්තයට සහ එරට සතු මිසයිල බලයට මුහුණ දීමේ පුළුල් උපායමාර්ගයක කොටසක් ලෙස ග්‍රීසිය ඉන්දියාව සමඟ පවතින මිලිටරි සබඳතා ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී.
ග්‍රීසියේ ආරක්ෂක අංශ විසින් මෑතකදී සිදු කරන ලද විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ, ඉන්දියාව සතු 'දිගුදුර ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල' (LR-LACM) පද්ධතිය මඟින් ඊජියන් සහ නැගෙනහිර මධ්‍යධරණී කලාපය තුළ ග්‍රීසියේ උපායමාර්ගික ආරක්ෂක හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි බවයි.
තුර්කි දේශපාලන විචාරකයන් පවසන පරිදි, ඇතැග්‍රීසිය සහ ඉන්දියාව අතර පැවැත්වෙන සාකච්ඡා පසුගිය වසර පුරා දැඩි වී ඇති අතර, ඉහළ මට්ටමේ හමුදා නිලධාරීන්ගේ හමුවීම්වලදී ඉන්දීය බලධාරීන් විසින් මෙම මිසයිල පද්ධතිය ග්‍රීසිය වෙත නිල නොවන මට්ටමින් හඳුන්වා දී ඇතැයි ද වාර්තා වේ.
සාම්ප්‍රදායික බටහිර ආරක්ෂක හවුල්කරුවන් මත යැපීම අවම කරමින්, උසස් ආයුධ සපයා ගත හැකි විකල්ප බලවතෙකු ලෙස ග්‍රීසිය ඉන්දියාව දෙස බලන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
තුර්කි වාර්තාවලට අනුව, මෙම LR-LACM මිසයිල පද්ධතිය කිලෝමීටර් 1,000ත් 1,500ත් අතර දුරක පවතින ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුක්ත වන බැවින්, ග්‍රීසිය විසින් මෙය ස්ථාපිත කළහොත් තුර්කියේ උපායමාර්ගික යටිතල පහසුකම් රැසක් ඔවුන්ගේ ප්‍රහාරක සීමාවට ලක්වනු ඇත.
තුර්කි මාධ්‍ය අවධාරණය කරන්නේ, මෙවැනි යුධමය හැකියාවක් ලැබීම තුළින් කිසියම් ගැටුමකදී ඊජියන් කලාපයෙන් ඔබ්බෙහි පිහිටි තුර්කියේ ගුවන් කඳවුරු, රේඩාර් පද්ධති, අණදෙන මධ්‍යස්ථාන සහ අනෙකුත් මිලිටරි මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ග්‍රීක සන්නද්ධ බලකායන්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි.
මෙම තත්ත්වය තුර්කිය තුළ දැඩි සංවාදයකට තුඩු දී ඇති අතර, එහි ආරක්ෂක විශ්ලේෂකයන් තර්ක කරන්නේ ග්‍රීසිය විසින් මෙවැනි දිගුදුර කෲස් මිසයිල අත්පත් කර ගැනීම නේටෝ සංවිධානයේ සාමාජිකයන් වන මෙම රටවල් දෙක අතර පවතින උපායමාර්ගික බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වනු ඇති බවයි.




