ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් සමඟ වෙන වෙනම දුරකථන සංවාද පවත්වමින් මැදපෙරදිග නොසන්සුන්තාව සමනය කරන ලෙස නැවත වරක් ඉල්ලා සිටියේය.

ඕමාන් සුල්තාන්වරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ, ඕමානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම නව දිල්ලිය හෙළා දකින බවයි.

තවද, ඉන්දියාව සහ ඕමානය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වෙනම ප්‍රකාශයන් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, තමා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමඟ මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

නොසන්සුන්තාව සමනය කිරීමේ හදිසි අවශ්‍යතාව මෙන්ම යළිත් සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතට අවතීර්ණ වීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වා දී තිබේ.

කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපගේ සමීප සම්බන්ධීකරණය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව ද දෙරටේ නායකයින් පවසා ඇත.

මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් සමඟ පැවැති සාකච්ඡාව පිළිබඳ සඳහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, ගැඹුරු කනස්සල්ලට කරුණක් වූ ඉරාන ගැටුම් පිළිබඳව සාකච්ඡා කළ බව සහ එම ගැටලුව සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් නොසන්සුන්තාව සමනය කිරීමට සහ කඩිනමින් සාමය හා ස්ථාවරත්වය ඇති කිරීමට ඇති පොදු කැපවීම යළිත් තහවුරු කළ බවත්ය.