එබෝලා ඇතුළු බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කෙන්යාව වෙත ලබා දෙන වෛද්‍ය ආධාර මාලාවේ පළමු පියවර ලෙස මෙට්‍රික් ටොන් 4.5ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් භාරදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

නයිරෝබි හි ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවැති උත්සවයකදී ඉන්දීය මහකොමසාරිස් අදර්ෂ් ස්වයිකා විසින් කෙන්යානු සෞඛ්‍ය අමාත්‍ය ඇඩන් දුආලේ මහතා වෙත මෙම ආධාර තොගය නිල වශයෙන් භාර දෙන ලදී.

අප්‍රිකානු මහද්වීපය පුරා එබෝලා මර්දන කටයුතු වෙනුවෙන් අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) වෙත ඉන්දියාව පසුගිය මැයි සහ ජූනි මාසවලදී වෛද්‍ය ආධාර ටොන් 45ක් ලබා දුන් අතර, මෙය එහිම තවත් එක් දිගුවකි.

කෙන්යාවේ සෞඛ්‍ය අර්බුද හමුවේ නිරන්තරයෙන්ම පෙරමුණ ගන්නා ඉන්දියාව, කොවිඩ්-19 වසංගත සමයේදීද ‘වැක්සීන් මෛත්‍රී’ වැඩසටහන හරහා එන්නත් මාත්‍රා මිලියන 1.12ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොග රැසක් කෙන්යාවට ලබා දී තිබුණි.