ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර චීන-ඇමරිකානු වැසියන් බහුලව වෙසෙන තදාසන්න ප්‍රදේශයක් වන කැලිෆෝනියාවේ ආකේඩියා නගරයේ නගරාධිපතිනිය, චීනයේ විදේශීය නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් බීජිං පාලනය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ ෆෙඩරල් චෝදනාවකට තමන් වැරදිකරු බව පිළිගැනීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
මෙම නඩුව ප්‍රසිද්ධියට පත් වී පැය කිහිපයක් ඇතුළත, 58 හැවිරිදි අයිලීන් වැන්ග් ආකේඩියා නගර සභාවෙන් මෙන්ම, පසුගිය පෙබරවාරි මාසයේදී තමන් භාරගත් නගරාධිපති ධුරයෙන් ද ඉල්ලා අස් වූ බව නගර කළමනාකරුගේ කාර්යාලය පවසයි.
ඇය ෆෙඩරල් මහේස්ත්‍රාත් විනිසුරුවරයෙකු ඉදිරියේ කෙටි වේලාවකට පෙනී සිටි අතර, එහිදී විනිසුරුවරයා නීතිඥයින්ට උපදෙස් දුන්නේ වැන්ග් නිල වශයෙන් සිය වරද පිළිගැනීම සිදු කරන ඉදිරි නඩු විභාගයක් සඳහා දිනයක් එකඟ කර ගන්නා ලෙසයි.
ඇය සඳහා ඇප මුදල ඩොලර් 25,000 ක් ලෙස නියම කෙරුණි.
ඉකුත් සඳුදා දින පැවැති මෙම නඩු කටයුතු මැන්ඩරින් භාෂා පරිවර්තකයෙකු හරහා සිදු කරන ලදී.
පසුගිය අප්‍රේල් 1 වැනිදා ගොනු කර, සඳුදා දින චෝදනා පත්‍රය සමඟ ප්‍රසිද්ධ කරන ලද පිටු 19 කින් යුත් නිල එකඟතාවයට අනුව, ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට පූර්ව දැනුම්දීමකින් තොරව චීන රජයේ විදේශීය නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමේ තනි බරපතල අපරාධ චෝදනාවකට තමන් වැරදිකරු බව පිළිගැනීමට වැන්ග් එකඟ වී ඇත.




