ජපානය නැවත යුදකාමීත්වයක් කරා ගමන් කරන බවට චීනය එල්ල කරන චෝදනා ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම, කිසිදු විනිවිදභාවයකින් තොරව චීනය සිය මිලිටරි බලය වේගයෙන් වර්ධනය කර ගැනීම විවේචනය කළ අමාත්‍යවරයා, මේ හේතුවෙන් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පීඩනය තවදුරටත් උග්‍ර වී ඇති බව පෙන්වා දුන්නේය.
සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ෂැංග්‍රිලා සංවාදය’ ආරක්ෂක සමුළුව අමතමින් ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, චීනය සිය ආරක්ෂක වියදම් අඛණ්ඩව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන බවයි.
චීනයේ බාහිර ප්රවේශයන් සහ මිලිටරි ක්‍රියාකාරකම් ජපානයට මෙන්ම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම එකසේ දැඩි කනස්සල්ලට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
"මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එක් රටක් සතුව දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාවක් සහ උපායමාර්ගික බෝම්බ හෙලන ගුවන් යානා තිබෙනවා. ජපානය සතුව මෙවැනි කිසිදු ආයුධයක් නැහැ. එසේ තිබියදීත් ජපානයට ‘නව මිලිටරිවාදයේ’ ලේබලය අලවන්නේ කෙසේද?"
"දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, ජපානය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිවලට අඛණ්ඩව ගරු කර තිබෙනවා. එමෙන්ම නිදහස් හා විවෘත ජාත්‍යන්තර පද්ධතියක් පවත්වාගෙන යාමට සහ ශක්තිමත් කිරීමට අවංක උත්සාහයක නිරත වී තිබෙනවා," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය මැයි මාසයේදී චීන විදේශ අමාත්‍යාංශය ආසියා-පැසිෆික් කලාපීය රටවලින් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින මෙම නව මිලිටරිවාදී නොසූදූසු ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඊට පොදුවේ ප්‍රතිරෝධය දක්වන ලෙසය. මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.




