රාජ්‍ය සබඳතා පවතින පමණින් රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් මූල්‍ය ආපදාවලින් ආරක්ෂා වේ යැයි පැවති විශ්වාසය අභියෝගයට ලක් කරමින්, චීනයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමූහයක් මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් වසර දෙකකට පසු එරට ණය වෙළෙඳපොළ වාර්තා වූ විශාලතම කඩාවැටීමට ලක්ව තිබේ.

දකුණු ගුවැංඩොං පළාතේ ප්‍රාදේශීය ආණ්ඩුවලට පූර්ණ හිමිකාරීත්වය සහිත 'ජූහායි හුවාෆා ගෲප්' (Zhuhai Huafa Group Co) සමාගම, ට්‍රස්ට් නිෂ්පාදන දෙකකට අදාළ ගෙවීම් පැහැර හැර ඇති අතර ඇතැම් බැංකු ණය ආපසු ගෙවීමට සහන කාලයක් ඉල්ලා සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය අයිතිය සහිත සමාගම් ණය ගෙවීම් පැහැර හැරීම අතිශයින් දුර්ලභ සිදුවීමක් වන චීනය තුළ, මෙම සිදුවීමත් සමඟ ආයෝජකයින් අතර දැඩි නොසන්සුන්තාවයක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයෝජකයින් චීන ආයතනික බැඳුම්කර සඳහා ඉල්ලා සිටින සාමාන්‍ය ඵලදායිතාව පදනම් ලක්ෂ්‍ය 10.3 කින් ඉහළ ගිය අතර, එය 2024 ඔක්තෝබර් මාසයෙන් පසු දින දෙකක් තුළ සිදු වූ වැඩිම ඉහළ යාමයි.

මීටර් 330 ක් උසැති Zhuhai Tower වැනි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමට දායක වී ඇති හුවාෆා සමාගම මුහුණ දී සිටින මෙම අර්බුදය, වසර ගණනාවක් පුරා පවතින දේපළ වෙළෙඳපොළ පසුබෑම සහ මන්දගාමී ආර්ථික වර්ධනය හමුවේ රජයේ අනුග්‍රහය මත යැපෙන චීන රාජ්‍ය සමාගම් මුහුණ දී සිටින දැඩි අවදානම මැනවින් පෙන්නුම් කරයි. චීන යුවාන් බිලියන 413 ක පොලී සහිත ණය වගකීම් පවතින මෙම සමාගමේ විදේශීය බැඳුම්කරවල අගය, පසුගිය සතිය වන විට මුහුණත අගයෙන් සියයට 54 ක් තරම් අඩු මට්ටමකට පහත වැටී තිබිණි.