සටන් විරාමය ඉදිරියට ගෙන යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා.
අල් ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කරන පරිදි, ට්රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ පකිස්ථාන රජයේ ඉල්ලීමකට අනුවයි.
මුලින් ප්රකාශිත දින 14ක සටන් විරාමය අද අවසන් වීමට නියමිතව තිබුණා.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මීට පෙර ප්රකාශ කලේ නියමිත කාලය තුළ යහපත් තත්වයක් නොපෙනෙන්නේ නම් මෙම සටන් විරාමය දීර්ඝ කිරීමට ඇත්තේ ඉතා අඩු අවස්ථාවක් බවයි.
එසේතිබියදී, පකිස්ථාන රජය කළ ඉල්ලීමකට අනුව සටන් විරාමය තවදුරටත් පවත්වාගෙන යන බවයි අමෙරිකානු ජනාධිපතිවරයාගේ දැන් ස්ථාවරය වී තිබෙන්නේ.
කෙසේ වෙතත් සටන් විරාමය දීර්ඝ කල ද ඉරානයට එරෙහිව පනවා තිබෙන නාවික අවහිර කිරීම් අඛණ්ඩව ක්රියාත්මක කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබෙනවා.
නව නියෝගයට අනුව ඉරාන නායකයින් යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් යෝජනාවලියක් ඉදිරිපත් කරන තෙක් අමෙරිකානු හමුදා ප්රහාර නතර කරන බවයි ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ.
එහෙත් මීට ප්රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ ඇමරිකාව පනවා ඇති නාවික අවහිර කිරීම් සටන් විරාම ගිවිසුම සඳහා ”යුධ ප්රකාශ කිරීමක්” හා සමාන වන බවයි.
ඉරාන පාලන තන්ත්රය තුළ මතභේද පවතිනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මීට පෙරඇතැම් අවස්ථාවලදී ප්රකාශ කළා.
කෙසේ වෙතත් ඉරානය එම ප්රකාශය ප්රතික්ෂේප කර තිබෙනවා.
ඉරාන හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් මුජ්තාබා කමේනි පාලනය භාරගෙන ඇති අතර, එම නායකත්වය ඉතා ස්ථාවර පවතින බවයි ටෙහෙරාන් හි සිටින සිය වාර්තාකරු උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ.
මේ අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡා මගින් මැදපෙරදිග ස්ථිර සාමය උදාවනු ඇතැයි බලාපොරොත්තු වන බව පකිස්ථාන අග්රාමාත්ය ෂෙබාස් ෂරීෆ් පවසා තිබෙනවා.




