ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 17 වන ප්‍රාන්ත සභාව සඳහා වන මහ මැතිවරණය අද උදෑසන සිට පැවැත්වුණා. සමස්ත තමිල්නාඩු ප්රාන්තයම ආවරණය වන පරිදි ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම අද දින එකම අදියරකින් පැවැත්වූ අතර, සවස 6ට ඡන්ද විමසීම අවසන් වුණා.
ඡන්ද විමසීමේදී කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.
මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දදායකයින්ගෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් මෙවර ඡන්දය භාවිතා කර තිබුණා. තිරුප්පූර්, ඊරෝඩ්, කරූර් සහ සේලම් වැනි දිස්ත්‍රික්කවල ඡන්දදායකයන් සිය ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උද්යෝගයෙන් යුතුව කටයුතු කළා.
මෙවර මැතිවරණයේදී ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන වත්මන් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානය, එඩප්පාඩි පලනිස්වාමිගේ නායකත්වයෙන් යුත් AIADMK සන්ධානය සහ සුපිරි නළු තලපති විජෙයිගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය අතර දැඩි තරගයක් පවතින බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
අද පෙරවරුවේ චෙන්නායි නගරයේදී ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඇතුළු දේශපාලන නායකයින්, සිනමා තරු සහ ප්‍රකට පුද්ගලයින් රැසක් තම ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට එක්ව සිටියා. දැඩි හිරු රශ්මියද නොතකා ජනතාව ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකගත හැකිවුණා.
මේ අතර සාලම් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් තුළ DMK සහ AIADMK පාක්ෂිකයන් අතර ගැටුමක් හටගත් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රමාදය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන්, ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කරන ලෙස TVK පක්ෂයේ නායක සුපිරි නළු තලපති විජෙයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්ද කර තිබුණා.
තිරුපූර් දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල පැවති ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍රවල තාක්ෂණික දෝෂ හේතුවෙන් සුළු ප්‍රමාදයන් වාර්තා වුවත්, ඒවා හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට බලධාරීන් කළා.
අද පැවැත්වූ තමිල්නාඩු ප්‍රාන්තයේ 17 වන ප්‍රාන්ත සභාව සඳහා වන මෙම මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ලබන මැයි මස 4 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.




