ඇමරිකාව සහ ඉරානය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය හෙටින් අවසන් වීමට නියමිතව තිබියදී, දෙරට අතර යුද උණුසුම යළි උත්සන්න වී තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ දැනට පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි.

මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පවසන්නේ, ඇමරිකාව සමඟ යළිත් සටනක් ආරම්භ වුවහොත් යුද්ධය සදහා නව උපායමාර්ග යොදාගන්නා බවයි.

ඒ වෙනුවෙන් ”අලුත් තුරුම්පු” සූදානම් බව ද ඉරාන කථානායකවරයා පැවසුවා.

තර්ජන හමුවේ කිසිදු සාකච්ඡාවකට එකඟ නොවන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
දෙපාර්ශවයෙන්ම කෙරන මෙම කුපිත කරවන ප්‍රකාශ නිසා අර්බුද සමනය කරගැනීම සඳහා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාම සාකච්ඡා පිළිබඳව ද තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

කෙසේවෙතත් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හෙට දිනයේ පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත බව වර්තා වනවා.

නමුත්, ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ එවැනි සාකච්ඡාවක් සඳහා මෙතෙක් සැලසුමක් නොමැති බවයි.

ඉරානයට අවාසිදායක කොන්දේසි යටතේ සාකච්ඡා මේසයට පැමිණීමට එරට බලධාරීන් මැළිකමක් දක්වන බව ටෙහෙරානයේ සිටින ඊඊක්‍ වාර්තාකරුවන් පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ ඇමරිකාවට කිසිදු බලපෑමක් නොමැති බවත්, ඉරානය සමඟ ඉතා ඉක්මනින් එකඟතාවයකට පැමිණිය හැකි බවයි.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් ඇමරිකානු නාවික හමුදාව පනවා ඇති මුහුදු බාධක හේතුවෙන් ඉරානයට දිනකට ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදුවන බවද ට්‍රම්ප් පවසනවා.

පසුගිය ජුනි මාසයේ ඇමරිකාව දියත් කළ “මිඩ්නයිට් හැමර්” මෙහෙයුමෙන් විනාශ වූ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ඇති යුරේනියම් ඉවත් කිරීමේ කටයුතු ද ඉතා සංකීර්ණ වනු ඇති බවටයි ජනාධිපතිවරයා අනාවැකි පළ කරන්නේ