ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජාත්‍යන්තර ණය වාර්තාවට (International Debt Report 2026) අනුව, 2025 දක්වා වූ ගතවූ දශකය තුළ පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 135.1 ක් ලෙස සටහන් වේ.
එම වාර්තාවට අනුව, 2015 වසරේදී ඩොලර් බිලියන 68.673 ක් වූ පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය 2025 වන විට ඩොලර් බිලියන 135.107 දක්වා වැඩි වී තිබේ. මීට රාජ්‍ය හා රාජ්‍ය ඇපකර සහිත ණය ඩොලර් බිලියන 107.076 ක්, පුද්ගලික අංශයේ නොවන ඇපකර සහිත ණය ඩොලර් බිලියන 17.58 ක් සහ කෙටි කාලීන ණය ඩොලර් බිලියන 10.45 ක් ඇතුළත් වේ.
රාජ්‍ය හා රාජ්‍ය ඇපකර සහිත ණය අතුරින් ඩොලර් බිලියන 56.83 ක් බහුපාර්ශ්වික ණය හිමියන්ටත්, ඩොලර් බිලියන 42.43 ක් ද්විපාර්ශ්වික ණය හිමියන්ටත් සහ ඩොලර් බිලියන 7.8 ක් පුද්ගලික ණය හිමියන්ටත් ගෙවීමට ඇත.
පාකිස්තානයට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති තනි රට බවට චීනය පත්ව ඇත්තේ ඩොලර් බිලියන 22.4 ක හිඟ ණය ප්‍රමාණයක් සටහන් කරමිනි. ඊට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 19.2 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 16.83 ක් ලෙස ණය ලබාගෙන තිබේ.
නිල ණය හිමියන්ගෙන් ලබාගත් ණය ආපසු ගෙවීමේ සාමාන්‍ය කාලසීමාව වසර 16 ක් වන අතර, ඒ සඳහා ලැබී ඇති වසර 4 ක සහන කාලයත් සමඟ සාමාන්‍ය පොලී අනුපාතිකය සියයට 3.6 කි. එහෙත් පුද්ගලික ණය හිමියන්ගේ ණය සඳහා සාමාන්‍ය පොලී අනුපාතිකය සියයට 8.6 ක් වන අතර, ඒවායේ ආපසු ගෙවීමේ කාලය වසර 3 කට සහ වසරක සහන කාලයකට සීමා වේ.
මේ අතර, 2025 වසරේදී චීනය විසින් පාකිස්තානයට ලබා දී තිබූ ඩොලර් බිලියන 2 ක ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගත් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තානයේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය උදෙසා විස්තීරණ අරමුදල් පහසුකම සහ ප්‍රතිරෝධීතාව හා තිරසාරභාවය පිළිබඳ පහසුකම යටතේ ඩොලර් බිලියන 2.3 ක නව මූල්‍ය නිදහස් කිරීමක් සිදු කර ඇත.




