මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයන් 31දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් හය දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් 5 දෙනා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එම බස් රථය නයාරිට්හි පිහිටි උද්‍යානයක් වෙත ධාවනය කරමින් සිටියදි අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාලිස්කෝ ප්‍රාන්තයේ සිට ගමන් ආරම්භ කළ එම බස් රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන ඇමට්ලන් ඩි කැනාස් නගරය අසලදී පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සිදුවීමත් සමග එම අධිවේගී මාර්ගය වසා දැමීමටයි ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇත්තේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.