‘බාවි’ (Bavi) චණ්ඩ සුළි කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදීමේ අවදානම හේතුවෙන් චීන බලධාරීන් විසින් පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, කලාපය පුරා ඉහළම මට්ටමේ කාලගුණ නිවේදන නිකුත් කර තිබේ.
මෙම සුළි කුණාටුව මේ වන විටත් ජපානයේ දකුණු දිග දූපත්වලට සහ තායිවානයට දැඩි සුළං සහ තද වැසි ගෙන එමින් පවතින බව වාර්තා වේ.
මීට පෙර, මෙම සුළි කුණාටුව හේතුවෙන් සක්‍රීය වූ මෝසම් වැසි හේතුවෙන් දකුණු පිලිපීනයේ පුද්ගලයින් 17 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර, ඉන් බහුතරයක් වාර්තා වූයේ නායයෑම් හේතුවෙනි.
පිලිපීන බලධාරීන් ප්‍රකාශ කළේ ‘බාවි’ කුණාටුව තායිවානය දෙසට ගමන් කිරීමට පෙර එහි බලපෑමෙන් පිලිපීනයට දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණු බවයි.
තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයට අනුව, කේන්ද්‍රයේ උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 144 ක් (පැයට සැතපුම් 89 ක්) ලෙස සටහන් වූ ‘බාවි’ සුළි කුණාටුව, පසුගිය සෙනසුරාදා තායිවානයට උතුරින් ගමන් කර තිබේ.
චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ මෙම කුණාටුව නැගෙනහිර චීනයේ ෂේජියෑන්ග් ප්‍රාන්තය දෙසට ගමන් කරමින් පවතින බවයි. එය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පෙර හෝ ඉරිදා අලුයම කාලයේදී චීන ගොඩබිමට ඇතුළු වී, අනතුරුව රට අභ්‍යන්තරයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෂින්හුවා නිල පුවත් ඒජන්සිය වාර්තා කළේ, සෙනසුරාදා උදෑසන වන විට ෂේජියෑන්ග් ප්‍රාන්තයේ බලධාරීන් විසින් අවදානම් කලාපවල සිටි පුද්ගලයින් මිලියන 1.7 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි.
මීට අමතරව, චීනයේ නැගෙනහිර වෙරළ තීරයේම පිහිටි ෂැංහයි නුවරින්ද ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචිව සිටි වැසියන් 34,000 ක් පමණ සෙනසුරාදා මධ්‍යහ්නය වන විට ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව ෂින්හුවා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.




