වසර 17කට පසු ස්කැන්ඩිනේවියන් එයාර්ලයින්ස් හෙවත් SAS සමාගම ඉන්දියාව බලා දියත් කළ ප්‍රථම නිල ගුවන් ගමන, අවශ්‍ය නීතිමය අවසර පත්‍ර නොමැති වීම හේතුවෙන් අතරමඟදී යළි හරවා යැවීමට සිදුව තිබෙනවා.
එම ගුවන් යානය අහසේ පියාසර කරමින් පැවති අතරතුර ඉන්දීය බලධාරීන්ගෙන් අවසන් අනුමැතිය ලැබෙනු ඇතැයි යන දැඩි විශ්වාසය මත සමාගම මෙම ගමන ආරම්භ කර තිබීම විශේෂත්වයක්.
මෙම සිදුවීමත් සමඟ ස්කැන්ඩිනේවියන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ස්කැන්ඩිනේවියන් එයාර්ලයින්ස් සමාගමට අයත් SK969 දරන එයාර්බස් A330-300 වර්ගයේ එම ගුවන් යානය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් ගුවන් තොටුපළෙන් පිටත්ව තිබුණේ ඉන්දියාවේ මුම්බායි බලා යාමේ අරමුණින් යුතුවයි.
මෙය දීර්ඝ කාලයකට පසු එම ගුවන් සේවය ඉන්දීය වෙළෙඳපොළ වෙත පිවිසීම සනිටුහන් කළ සුවිශේෂී ගුවන් ගමනක් ද වුණා.
කෙසේ වෙතත්, ගමන ආරම්භ කර පැය හතරක් පමණ ගතවී, යානය අසර්බයිජානයට ඉහළින් පියාසර කරමින් තිබියදී වහාම ආපසු හැරෙන ලෙස යානයට නියෝග ලැබී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, යානය ගුවන්ගත වන අවස්ථාව වන විටත් ඉන්දීය ගුවන් සේවා බලධාරීන්ගෙන් ලබාගත යුතු අවසන් නීතිමය අනුමැතිය මෙම ගුවන් සේවය සතුව තිබී නැහැ.
යානය ඉන්දියාවට ළඟා වීමට පෙර එම ලියකියවිලි නිම කරගත හැකිවනු ඇතැයි ගුවන් සේවා විධායක නිලධාරීන් බලාපොරොත්තු වී තිබුණද, අවසන් මොහොතේ එම ස්ථිර කිරීම් නොලැබීම හේතුවෙන් ගුවන් නියමුවන්ට යානය නැවත හරවා ගැනීමට සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් ගුවන් මගීන් පවසා ඇත්තේ ගොඩබෑමේ අවසරය ස්ථිරවම නොමැතිව ගුවන් යානයක් මෙලෙස ගුවන්ගත කිරීම ගුවන් සමාගම කළ බරපතළ වැරැද්දක් බවයි.
අනෙක් පසින්, මුම්බායි ගුවන් තොටුපළේදී මෙම සමාරම්භක ගුවන් යානය පිළිගැනීම සඳහා ජල විදීම් ආචාර හෙවත් Water Cannon Salute සූදානම් කරගෙන සිටි බිම් පාලක කණ්ඩායම්වලට ද හිස් අතින් හැරී යාමට සිදුව තිබෙනවා.
ගුවන් සේවා විශේෂඥයින් ඇස්තමේන්තු කරන්නේ මෙම එක් අසාර්ථක ගුවන් ගමනක් හේතුවෙන් ඉන්ධන, මෙහෙයුම් වියදම් සහ මගී වන්දි වශයෙන් ස්කැන්ඩිනේවියන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන භාගයකට වඩා පාඩුවක් සිදුව ඇති බවයි.
සිදුවූ අපහසුතාවය පිළිබඳව සමාව අයදින ස්කැන්ඩිනේවියන් ගුවන් සේවය, අදාළ මගීන් වෙනත් විකල්ප ගුවන් ගමන් වෙත යොමු කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය අවසර පත්‍ර ලබාගෙන මෙම ගුවන් වාර නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.




