සේවා අංශයෙන් ලැබූ ඉහළ ආදායම, විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම සහ එරට මහ බැංකුව විසින් සිදුකළ විදේශ විනිමය හුවමාරු ගනුදෙනු හේතුවෙන් 2026 මූල්‍ය වර්ෂයේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ ඉන්දියාව අනපේක්ෂිත ජංගම ගිණුමක සහ ගෙවුම් ශේෂයක අතිරික්තයක් වාර්තා කර තිබේ.
2026 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව තුළ මෙම ජංගම ගිණුමේ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් ලෙස සටහන් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.7% කි.
පෙර වසරේ අදාළ කාලසීමාව තුළ එය ඩොලර් බිලියන 13.7 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4% ක් වූ බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කළේය.
මීට පෙර ඔක්තෝබර්-දෙසැම්බර් කාලසීමාව තුළ ඉන්දියාව ඩොලර් බිලියන 13.2 ක හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3% ක ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කර තිබිණි.
සමස්ත මුළු වර්ෂය සඳහාම ඉන්දියාවේ ජංගම ගිණුමේ හිඟය සටහන් වූයේ ඩොලර් බිලියන 25.2 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6% ක් ලෙසය.
ආර්ථිකයකට ඇතුළු වන මුදල් සහ පිටතට යන මුදල් අතර ශේෂය දැක්වෙන ඉන්දියාවේ ගෙවුම් ශේෂය මෙම ජනවාරි-මාර්තු කාර්තුව තුළ ඩොලර් බිලියන 7.2 ක අතිරික්තයක් වාර්තා කළේය.
කෙසේ වුවද, සමස්ත වසර සඳහා එහි සමුච්චිත හිඟය ඩොලර් බිලියන 23.6 ක් විය.
''ජනවාරි-මාර්තු කාර්තුව තුළ ඉන්දීය මහ බැංකුව විසින් ඩොලර්/රුපියල් මිලදී ගැනීමේ/විකිණීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 10 බැගින් වූ අදියර දෙකක විනිමය හුවමාරු ගනුදෙනු සිදුකරනු ලැබුවා. එය එරට ප්‍රාග්ධන ගිණුමට (Capital Account) මහත් පිටුවහලක් වූ අතර, මෙම කාර්තුව තුළ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති වීමට ද ප්‍රධාන වශයෙන්ම බලපෑවා," යනුවෙන් IDFC First බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගෞරා සේන් ගුප්තා ප්‍රකාශ කළාය.




