සටන්විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුල ඇමෙරිකානු හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ හමුදා යාත්‍රා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය පවසන්නේ මෙය ”ස්වයං ආරක්ෂාව උදෙසා” සිදු කරන ලද ප්‍රහාර මාලාවක් බවයි.

ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකායේ මාධ්‍ය ප්‍රකාශක තිමොති හෝකින්ස් සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත්තේ ”ඉරාන හමුදාවන්ගෙන් සිය භට පිරිස් වෙත එල්ල විය හැකි තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපද හමුදාව දකුණු ඉරානයට ස්වයං-ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බවයි.

ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ ඇටවීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වු බවද ඔහු පවසා තිබෙනවා.

දැනට පවතින සටන්විරාමය හමුවේ උපරිම සංයමයකින් කටයුතු කරන අතරම, සිය හමුදාවන් ආරක්ෂා කිරීමට තවදුරටත් පියවර ගන්නා බවද අමෙරිකානු මධ්‍යම අණදෙන බලකායේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

පසුගිය අප්‍රේල් 8 වැනිදා දෙපාර්ශවය අතර සටන්විරාමයකට එකඟතාව පළ වූ අතර, මැයි මාසයේ මුල් භාගයේදී සිදු වූ එක් ප්‍රධාන ගැටුමකට හැරුණු විට මේ දක්වා එම සටන්විරාමය බොහෝ දුරට ආරක්ෂා වී තිබුණා.

මෙම මාසයේ මුල් භාගයේදී, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ඇමෙරිකානු යුද නැව් ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල, ඩ්‍රෝන සහ කුඩා බෝට්ටු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව ද ඉරාන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළා.

මෙම නවතම ප්‍රහාරයත් සමඟ කලාපයේ දේශපාලනමය සාකච්ඡාවල ඉදිරි පැවැත්ම පිළිබඳව ලෝක අවධානය යොමුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තමන්ට එල්ල වූ මෙම ප්‍රහාරය හමුවේ ඉරාන විදේශ අමාත්‍යාංශයද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

”කිසිදු සැකයකින් තොරව, ඉරාන ඉස්ලාමීය ජනරජය තමන්ට එල්ල වන මෙවැනි ඕනෑම ද්වේෂසහගත ක්‍රියාවකට නිසි පිළිතුරු දීමට පියවර ගන්නා බවත් ඉරාන ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිසේත්ම පසුබට නොවන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.