ආසියානු කලාපීය රටවල ආර්ථික ගමන්මග පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරන්නේ, 2027 වසර වන විට ජපානය අභිබවා යමින් ලොව හතරවන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාවට හැකිවනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම පුරෝකථනයන්ට අනුව, දළ දේශීය නිෂ්පාදිතය (GDP) පදනම් කරගනිමින් ජපානය මෙම වසරේ ලොව 4 වන විශාලතම ආර්ථිකය ලෙස තවදුරටත් රැඳී සිටියද, 2027 වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.52 ක දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරමින් ඉන්දියාව එම ස්ථානය අත්පත් කරගනු ඇත. එසේම, එම වසරේදී ජපානය, ඉන්දියාවට මෙන්ම බ්‍රිතාන්‍යයට ද පිටුපසින් 6 වන ස්ථානය දක්වා පහත වැටෙනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද ඉන්දියාව පසුගිය වසර කිහිපය පුරාම ප්‍රබල ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2026 වසර සඳහා ඉන්දියාවේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 7.0 දක්වා ඉහළ නැංවීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගත්තේය. ඊට පටහැනිව, ජපානය ජනගහනය වයස්ගත වීම සහ සෙසු ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් මන්දගාමී ආර්ථික වර්ධනයකට මුහුණ දී සිටියි.
දැනට ලොව විශාලතම ආර්ථිකය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර, චීනය සහ ජර්මනිය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.
ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව එළිදක්වමින් එහි ආසියානු කලාපීය අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්රීනිවාසාන් මහතා සඳහන් කළේ, ඇමෙරිකා-ඉශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් මතුවූ බලශක්ති මිල ඉහළයාමේ අර්බුදයට ඉන්දියාව මුහුණ දුන්නේ ඉතා ප්‍රබල ආර්ථික පදනමක සිට බවයි.




