ටාටා කන්සල්ටන්සි සර්විසස් සමාගමේ අනුබද්ධිත සමාගමක් සහ එහි හවුල්කාර පාර්ශවයන් එක්ව ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ගිගාවොට් එකක ධාරිතාවයෙන් යුත් කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා ඉන්දියානු රුපියල් බිලියන 700ක් දක්වා ආයෝජනය කිරීමට නියමිත බව එම සමාගම නිවේදනය කළේය.

මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ටාටා කන්සල්ටන්සි සර්විසස් හි අනුබද්ධිත HyperVault සමාගම විසින් හයිද්‍රාබාද් නගරයෙන් අක්කර 264ක භූමි භාගයක් වෙන් කරගෙන තිබේ.

මෙම පහසුකම විශේෂයෙන්ම කෘතිම බුද්ධි (AI) තාක්ෂණික සමාගම් සහ විශාල පරිමාණයේ දත්ත සපයන්නන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති අතර, එමඟින් AI පුහුණු කිරීම් සහ අනුමාන කිරීමේ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය අධි-ඝනත්ව GPU පද්ධති සඳහා සහය දැක්වේ.

සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වූ පසු, මෙම පරිශ්‍රය ඉන්දියාවේ විශාලතම AI යටිතල පහසුකම් මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි HyperVault සමාගම පවසයි.

ගෝලීය පාරිභෝගිකයින්ට සේවය කිරීම සඳහා අවශ්‍ය පරිමාණය, දක්ෂ තාක්ෂණික ශ්‍රම බලකාය සහ සුදුසු පාරිසරික පද්ධතිය හයිද්‍රාබාද් නගරය සතුව පවතින බව ටාටා කන්සල්ටන්සි සර්විසස් හි ප්‍රධාන විධායක නිලධාරී කේ. ක්‍රිතිවාසන් සඳහන් කළේය.

එම සමාගම සිය සාම්ප්‍රදායික තොරතුරු තාක්ෂණ සේවාවන්ගෙන් ඔබ්බට යමින් තම ව්‍යාපාරික ක්ෂේත්‍ර පුළුල් කිරීමේ පියවරක් ලෙස, පෝර්ෂේ සමාගමේ රථවාහන සහ උපදේශන අංශය වන MHP සමාගම මිලදී ගැනීමට එකඟතාවයකට පැමිණ දින කිහිපයකට පසුව මෙම නව ආයෝජන නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.