ඉන්දියාව සහ නවසීලන්තය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයෙන් ඔබ්බට යමින් වෙළඳ, ආයෝජන, තාක්ෂණ, කෘෂිකර්ම සහ උපායමාර්ගික සහයෝගීතාව පදනම් කරගත් පුළුල් සහකාරිත්වයකින් යුත් ද්විපාර්ශ්වික සබඳතාවල නව අදියරකට එළඹෙමින් සිටියි. ඉන්දියා-නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, දෙරටේම ව්‍යාපාරිකයන්, ගොවීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යවසායකයන් සහ තරුණ වෘත්තිකයන් සඳහා නව අවස්ථා රැසක් නිර්මාණය කරයි.
මෙම ගිවිසුමේ වැදගත්කම හුදෙක් තීරුබදු අඩු කිරීමට පමණක් සීමා නොවේ. ඉහළ අනුපූරක ශක්තීන් සහිත ආර්ථිකයන් දෙකක් අතර වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමට, සැපයුම් දාම ශක්තිමත් කිරීමට, ආයෝජන පහසු කිරීමට, කුසලතා සහ තාක්ෂණික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වඩාත් ශක්තිමත් වාණිජ සබඳතා ගොඩනැගීමට ද මෙමඟින් අවශ්‍ය රාමුව සපයයි.
"Roadmap to 2030" සැලසුම මඟින් තවදුරටත් ශක්තිමත් වන මෙම පුළුල් උපායමාර්ගික සහකාරිත්වය, දීර්ඝකාලීන ආර්ථික අභිමතාර්ථයන්ට නව දිශානතියක් ලබා දෙයි. නිදහස් වෙළඳ ගිවිසුම සහ ඊට සමගාමීව ක්‍රියාත්මක වන සහයෝගිතා පියවරයන් එකිනෙකට එකතු වීමෙන් ඉන්දියාවට සහ නවසීලන්තයට වඩාත් විවිධාංගීකරණය වූ, ප්‍රත්‍යස්ථ සහ දෙපාර්ශ්වයටම ප්රතිලාභ අත්වන සබඳතාවක් ගොඩනගා ගැනීමට මග පෑදෙනු ඇත.
මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඉන්දියානු අපනයන නිෂ්පාදන 8,284 ම සඳහා නවසීලන්තය විසින් ක්ෂණිකව ශූන්‍ය තීරුබදු ප්‍රවේශය ලබා දීමයි. මෙයින් ඉන්දියානු අපනයනකරුවන්ට තම භාණ්ඩවල මිල තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමටත්, විදේශීය වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, දියුණු වූ ආර්ථිකයක් තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමටත් විශාල අවස්ථාවක් හිමිවේ.
විශේෂයෙන්ම ශ්‍රම-දැඩි සහ නිෂ්පාදන පාදක ක්ෂේත්‍ර සඳහා මෙමඟින් විශාල ප්රතිලාභ අත්වනු ඇත. ඖෂධ නිෂ්පාදන, රෙදිපිළි, ඉංජිනේරු භාණ්ඩ, යන්ත්රසූත්ර, රත්තරන් සහ මැණික් ආභරණ, ක්‍රීඩා භාණ්ඩ, පාවහන් සහ සම් භාණ්ඩ යනු ඉහළ අපනයන හැකියාවක් සහිත ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති අංශ කිහිපයකි. නිෂ්පාදනය පුළුල් කිරීමට, නව ඇණවුම් ලබා ගැනීමට සහ බෙදාහැරීමේ ජාල ශක්තිමත් කිරීමට මෙම ක්ෂේත්රවලට හිමිවන මෙකී වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය මඟින් හැකියාව ලැබෙනු ඇත.
මෙම ගිවිසුම මඟින් ලැබෙන පුළුල් වෙළඳපල අවස්ථා හේතුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, දේශීය ශිල්පීන් සහ කාන්තා ව්‍යවසායකයන්ට ද විශාල වාසි අත්වේ. බොහෝ විට කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳපල වෙත ප්‍රවේශ වීමේදී ඉහළ ගනුදෙනු පිරිවැය, සීමිත වෙළඳපල තොරතුරු සහ විදේශීය වාණිජ සබඳතා ගොඩනගා ගැනීමේ අපහසුතාව වැනි බාධාවන්ට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත්, මෙම තීරුබදු සහන, ආයතනික සහයෝගය සහ වඩාත් ශක්තිමත් ව්‍යාපාරික සබඳතා (B2B) එකතු වීමෙන් එම බාධක ජය ගැනීමට මග පාදයි.




