ඉන්දියාව සහ රුසියාව අතර පවතින ආසියාවේ පැරණිතම ආරක්ෂක සබඳතාවක් වන ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව, සාම්ප්‍රදායික අවි ආයුධ අලෙවියෙන් ඔබ්බට ගොස් තාක්ෂණය පදනම් කරගත් කාර්මික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙරටම උත්සාහ කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති.
මෙම නව වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස මිසයිල අපනයනය සහ ප්‍රහාරක ජෙට් යානා ලබාදීමේ යෝජනා ඉදිරියට පැමිණ තිබේ.
පසුගිය සති අන්තයේ නවදිල්ලියේ පැවැති බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට පෙර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවූ අතර, එම හමුවෙන් අනතුරුව ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, "දිනෙන් දින තව තවත් ශක්තිමත් වන සබඳතාවයක්!" යනුවෙනි.
මෙම හමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, නවදිල්ලිය සහ මොස්කව් පාලනය එක්ව නිෂ්පාදන කටයුතු සිදු කිරීම, තාක්ෂණය හුවමාරු කරගැනීම සහ අපනයනය ඉලක්ක කරගත් ආයුධ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර ආරක්ෂක සබඳතා නැවත සකස් කර ගැනීමට කටයුතු කරන බවයි.
හිටපු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ශ්‍රීකුමාර් මෙනන් සඳහන් කළේ, BrahMos මිසයිල නවීකරණය කිරීම පිළිබඳ සාකච්ඡා සහ Su-57 Stealth ප්‍රහාරක ජෙට් යානාවල තාක්ෂණය ඉන්දියාවට හුවමාරු කිරීමට මොස්කව් පාලනය ඉදිරිපත් කළ යෝජනාව මගින් ඉන්දියා-රුසියා ආරක්ෂක සහයෝගීතාවයේ ඇති පරිණතභාවය, ගැඹුර සහ උපායමාර්ගික සංකීර්ණත්වය මනාව පිළිඹිඹු වන බවයි.
දෙරට අතර පවතින දැනට ඇමරිකානු ඩොලර් බිලියන 60 ක් පමණ වන ද්විපාර්ශ්වික වෙළඳාම, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සහ රුසියාව ඉලක්ක කර තිබේ.
ඉන්දීය හමුදාව සඳහා අවශ්‍ය යුද ටැංකිවල සිට ප්‍රහාරක ජෙට් යානා දක්වා වූ යුධමය මෙවලම් සහ මෙහෙයුම් උපකරණ සපයා ගැනීමට සාම්ප්‍රදායිකව වැඩි වශයෙන් රුසියාව මත විශ්වාසය තබා තිබුණි. කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය හමුවේ රුසියාවෙන් ලැබෙන සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවන් මඟහරවා ගැනීමටත්, වඩාත් දියුණු තාක්ෂණයන් අත්පත් කර ගැනීමටත් ඉන්දියාව මෑත කාලයේදී ප්‍රංශය, ඇමරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින් යුධමය උපකරණ මිලදී ගැනීම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත.




