ගෝලීය තෙල් ප්‍රවාහනයට අතිශය තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට සූදානම් බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාවලිය කටාර් රාජ්‍යය මැදිහත්වී ඇමරිකාව වෙත භාරදී ඇති බවයි.

අවශ්‍ය කොන්දේසි සපිරෙන්නේ නම්, පසුගිය ජූනි මාසයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව දින 7ක් ඇතුළත නැව් ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකි බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම දැන් ඇමරිකාව සතුව පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඉරානයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, දෙරටේ පරමාණුක අර්බුද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මැදිහත්කරුවන් මාර්ගයෙන් සුභවාදී සාකච්ඡා පැවැත්වෙන බවයි.

කෙසේවෙතත්, පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තා.

ලෝකයේ බලශක්ති සහ ස්වාභාවික ගෑස් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර, එය වසා දැමීම හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල මැතිවරණය හමුවේ, මෙම අර්බුදය විසඳාගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.