2026 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට උණුසුම් ආරම්භයක් සටහන් කරමින්, දකුණු අප්‍රිකාව සමඟ පැවැති සමාරම්භක තරගය ගෝල 2 ට 0 ක් ලෙස ජය ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. තරගය පැවැත්වුණේ මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ ‘එස්ටාඩියෝ ඇස්ටෙකා’ ක්රීඩාංගණයේදියි.
තරඟයේ 9 වැනි මිනිත්තුවේදීම පළමු ගෝලය ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. මෙම ගෝලය ලබාගත්තේ ජුලියන් කිනෝනස් (Julián Quiñones) විසින්. ඉන් අනතුරුව තරඟයේ 67 වැනි මිනිත්තුවේදී රාවුල් ජිමිනේස් (Raúl Jiménez) හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් මෙක්සිකෝව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තා.
ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා රීති පවා උල්ලංඝනය කරමින් වඩාත් උද්වේගකාරී ලෙස ක්‍රීඩා කිරීමද මෙම තරඟයේ කැපී පෙනුණු තත්ත්වයක්. මේ නිසාම ක්‍රීඩකයින් තුන්දෙනෙකුට රතු කාඩ්පත් ලබාදීමට විනිසුරුවරුන් ක්‍රියා කළා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ මෙක්සිකෝ කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුටයි.
මේ අතර 2026 ෆීෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය ඉතා විචිත්‍ර සහ ආකර්ෂණීය එකක් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණේ තරගාවලියේ පළමු තරඟය පැවැත්වුණු මෙක්සිකෝ සිටි හි ‘එස්ටාඩියෝ ඇස්ටෙකා’ ක්රීඩාංගණයෙදීමයි.
වර්ණවත් නර්තනාංග සහ ලෝක පූජිත ගායන ශිල්පිනී ශකීරා (Shakira) ඇතුළු ජාත්‍යන්තර තරු රැසකගේ සංගීතමය ඉදිරිපත් කිරීම් ඊට ඇතුළත් වුණා.
ඔපෙරා සුපිරි තරුවක් වන ඇන්ඩ්‍රියා බොසෙලී (Andrea Bocelli), කේ-පොප් ගායක එජේ (Ejae), ජේ බැල්වින් (J Balvin) සහ බර්නා බෝයි (Burna Boy) මෙහිදී දක්ෂතා දැක්වූ ශිල්පීන් කිහිපදෙනෙක්. දකුණු අප්‍රිකානු සුපිරි තරුවක් වන ටයිලා (Tyla) සහ මෙක්සිකානු ගායක ඇලෙක්සැන්ඩ්‍රෝ ෆර්නැන්ඩස් (Alejandro Fernández) විසින් දෙරටේ ජාතික ගීත ගායනා කරනු ලැබුවා.
මෙම සමාරම්භක උත්සවය නරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ෂක පිරිස අසූ දහසකට වැඩි.
මේ අතර සමාරම්භක උත්සවය කෙතරම් විචිත්‍ර වුවත් ක්‍රීඩාංගණයෙන් පිටතදී විරෝධතාකරුවන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය සමඟ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.
මෙවර ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ මෙක්සිකෝව, ඇමරිකාව සහ කැනඩාව යන රටවල් තුනෙහි ඒකාබද්ධ සත්කාරකත්වයෙන්.
පාපන්දු ලෝක කුසලානයේ අද පැවැත්වෙන දෙවන තරගය පෙරවරු 7යි 30ට ආරම්භ වීමට නියමිතයි. එහිදී තරග වදිනු ලබන්නේ දකුණු කොරියාව හා චෙක් ජනරජය කණ්ඩායම් දෙකයි.
මේ අතර මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලානය අන් කවරදාකටත් වඩා වෙනස්කම් රැසකින් යුක්තයි.
මෙවර ලෝක කුසලානය ගැන ඔබ දැනගත යුතුම රසවත් හා වැදගත් කරුණු ඇතුලත් කරමින් නෙත් නිවුස් සැකසූ විශේෂාංගයක් පහතින්.




