මධ්‍යම පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

කෙසේවෙතත්, ඉන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ජූනින් නගරයට කිලෝමීටර් 34ක් උතුරින් ඇන්ඩීස් කඳුකරයේ, පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 108ක් ගැඹුරින් මෙහි අපකේන්ද්‍රය සටහන් වී ඇති බවයි.

භූමිකම්පාවෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර, සුනාමි අවදානමක් ද නොමැති බව පේරු භූ භෞතික විද්‍යා ආයතනය නිවේදනය කළා.

කෙසේවෙතත්, පේරු අගනුවරට ද මෙම කම්පනය තදින් දැනී ඇති අතර, ඒ හේතුවෙන් බියට පත් වැසියන් නිවෙස්වලින් ඉවතට පැමිණ මහමඟට රැස්ව තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ද පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකරයේ හටගත් රික්ටර් මාපකයේ 6.7ක භූමිකම්පාවකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නිවාස, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පාසල් කිහිපයකට හානි සිදුවුණා.

එමෙන්ම, පසුගිය ජූලි මාසයේදී ජූනින් කලාපයේ සිදු වූ 5.5ක භූමිකම්පාවකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.