පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් ප්‍රබල බ්‍රසීලය එළියට ඇද දමා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නෝර්වේ සමත් වුණා.
නෝර්වේ රාජ්‍යය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ වසර 28කට පසුවයි.
එසේ තිබියදීත්, පාපන්දු ලොව රජුන් තැනූ බ්‍රසීලය පරාජය කරමින් ඔවුන් ලැබූ ජයග්‍රහණය පාපන්දු ලෝකයම මවිත කරවන්නක් වී තිබෙනවා.
මෙම තරඟය පැවැත්වුණේ ඇමරිකාවේ නිව් ජර්සි නුවරදීයි.
තරඟය පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මැන්චෙස්ටර් සිටි තරුව අර්ලින් හාර්ලන්ඩ්, තරඟයේ දෙවන භාගයේදී වාර්තා කළ සුපිරි ගෝල දෙක නෝර්වේ කණ්ඩායමේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කළා.
තරඟයේ 15 වන මිනිත්තුවේදී බ්‍රසීලයට දඬුවම් පහරක් හිමි වුවද, බෲනෝ ගුයිමාරේස් එල්ල කළ එම ප්‍රහාරය සාර්ථකව වැළැක්වීමට නෝර්වේ දැල් රකින්නා වූ 35 හැවිරිදි ඕර්ජන් නිලන්ඩ් සමත් වුණා.
ඉන් අනතුරුව, තරඟයේ 79 වන මිනිත්තුවේදී ඇන්ඩ්‍රියාස් ෂෙල්ඩරුප් ලබා දුන් පන්දුවක් හිසින් හරවා යවමින් හාර්ලන්ඩ් නෝර්වේ පිලට පළමු ගෝලය දිනා දුන්නා.
ඉන් නොනැවතුණු ඔහු තරඟයේ 90 වන මිනිත්තුවේදී ඩී කලාපයෙන් පිටත සිට එල්ල කළ ප්‍රබල පහරකින් නෝර්වේ ඉනිමේ දෙවන ගෝලයත් වාර්තා කළා.
තරඟය අවසන් වීමට මොහොතකට පෙර බ්‍රසීලයට හිමි වූ දෙවන දඬුවම් පහර නේමාර් විසින් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කළ ද, එය බ්‍රසීලයේ පරාජය වැළැක්වීමට ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස බ්‍රසීලය පරාජය කරමින් නෝර්වේ සිය ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
බ්‍රසීලය ලෝක කුසලාන තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පෙර ඉවතට විසි වූයේ 1990 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ අර්ලින් හාර්ලන්ඩ් මෙවර තරඟාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව සඳහා වන සටනේදී කිලියන් එම්බාපේ සහ ලියොනෙල් මෙසී සමඟ සම තත්ත්වයට පත්ව සිටිනවා.
මෙම අනපේක්ෂිත පරාජයත් සමඟ බ්‍රසීල ප්‍රධාන පුහුණුකරු කාලෝ ඇන්සලොට්ටිගේ ධුරයේ අනාගතය පිළිබඳවද මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අර්ධ අවසන් පූර්ව වටයේදී නෝර්වේ කණ්ඩායමට මුහුණ දීමට සිදු වන්නේ එංගලන්තය හෝ මෙක්සිකෝව අතර තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමටයි.




