FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවති තරඟයකදී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමග ලකුණු සමකිරීමට මොරොක්කෝව සමත් වුණා.
තරගයයේ අවසන් ප්‍රතිඵලය ගෝල 1ට 1ක් ලෙසයි.
බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන පහක් දිනාගෙන තිබෙනවා.
ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ විදේශීය පුහුණුකරුවෙකු වන කාලෝ ඇන්සලොට්ටිගේ මඟපෙන්වීම යටතේයි.
එසේ තිබියදී, අපේක්ෂා කළ දක්ෂතා දක්වන්න බ්‍රසීලය අද තරගයේදී සමත් වුණේ නැහැ.
මෙම තරගය නරඹීමට රොනාල්ඩෝ, කකා, රොබර්ටෝ කාලෝස් වැනි බ්‍රසීලයේ අතීත පාපන්දු වීරයන් ද පැමිණ සිටියා.
එහෙත්, තරගය පුරා බ්‍රසීල කණ්ඩායමෙන් දක්නට ලැබුණේ තරමක් පසුබෑමකට ලක්වූ ක්‍රීඩා විලාශයක්.
වසර 92ක් තිස්සේ මේ දක්වාත් ලෝක කුසලාන ආරම්භක තරගයකින් බ්‍රසීලය කිසිවිටෙක පරාජය වී නැහැ.
අද තරඟයේදී ඔවුන් සතු කරගෙන සිටි ඒ ජයග්‍රහණයේ වාර්තාවද අභියෝගයට ලක්වුනා.
වාර්තාව තවදුරටත් රැක ගැනීමට හැකි වුණේ විනිසියස් ජූනියර් ලබාගත් එකම එක ගෝලය නිසයි.
බ්‍රසීලය සහ මොරොක්කෝව අතර මෙම තරගය පැවැත්වුණේ ඇමරිකාවේ නිව් ජර්සි නුවරදියි.
බ්‍රසීලයට පරස්පරව මොරක්කෝ ක්‍රීඩකයන් තරගයේදී ඉතා ඉහළ දක්ෂතා දැක්වූවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි ප්‍රබල බ්‍රසීලය සමග ලකුණු සම කර ගැනීමට ඔවුන් සමත් වන්නේ.
තරගයේ 21 වැනි විනාඩියේදීම බ්‍රසීල ආරක්ෂක පෙළේ සහ ගෝල් රකින්නාගේ සුළු අතපසුවීමකින් ප්‍රයෝජන ගත් මොරොක්කෝවේ ඉස්මායෙල් සයිබාරි, ගෝලයක් ලබා ගනිමින් මොරොක්කෝව පෙරමුණට ගෙන ආවා.
ලෝක කුසලාන ඉතිහාසයේ මොරොක්කෝව දකුණු ඇමරිකානු රටකට එරෙහිව ගෝලයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.
එතැන් සිට මොරොක්කෝ ක්‍රීඩකයන් දිගින් දිගටම බ්‍රසීලයට දැඩි පීඩනයක් එල්ල කළා.
දිගින් දිගටම එල්ල වූ මෙම පීඩනයෙන් බ්‍රසීලය ගලවා ගත් ගැලවුම්කරුවා වූයේ විනිසියස් ජූනියර්.
ඔහු මේ ක්‍රීඩා කලේ ඔහුගේ පාපන්දු දිවියේ 50 වැනි ජාත්‍යන්තර තරගයට.
තරඟය නිමාවෙන්න විනාඩි 13ක් පමණක් තිබියදී ඔහු ප්රසීලය වෙනුවෙන් ගෝලයක් ලබාගත්තා. ඒ සමඟයි. 1ට 1ක් ලෙස තරගයේ ලකුණු සම වුණේ.
තරගාවලියේ මොරොක්කෝව සහභාගි වන මීළඟ තරගය ලබන ජූනි 19 වැනිදා ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙනවා.
බ්‍රසීලය ලබන ජූනි 20 වැනිදා හයිටි රාජ්‍යය සමඟ තරග වැදීමට නියමිතයි.



