නවගමුව, පල්ලිය පාර සුරුවම අසලදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිදුකළ පිහි පරකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එම සැකකරුද රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ.

සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එම සැකකරුවන් දෙදෙනා යතුරු පැදි දෙකක නංවාගෙන් නවගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුර එක් සැකකරුවෙකු විසින් ඔහු රැගෙන එමින් තිබූ යතුරු පැදියේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ උදර ප්‍රදේශයට සහ පිට ප්‍රදේශයට පිහි ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නවගමුව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මුලලේරියාව නැගෙනහිර මුලික රෝහල වෙත මාරු කර තිබෙනවා.

තුවාල ලබා සිටි සැකකරුද රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ. අනෙක් සැකකරු නවගමුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.