අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම ආණ්ඩුවට අත්‍යවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යොමු විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ එවැනි තීරණයක් ගත හොත් මහජනතාව ඒ සම්බන්ධයෙන් පොදු තීරණයක් දෙනු ඇති බවයි.

"මෙවැනි සංශෝධනයකට යන්න ආණ්ඩුවට යන්නම උවමනා නම්, මහජනතාවගෙන්ම විමසන්න ඕන. ජනමත විචාරණයකට යන්න ඕන. දැන් මේක කියන්න බැහැනේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණයි කියලා. එන්.පී.පී. එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොතනකවත් මේක නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට කියන්න බැහැනේ අපිට මේක මහජන වරමක් දුන්නයි කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් නැත්නම්, ආණ්ඩුවේ නායකයෝ මේ ගැන සඳහනක් කරලත් නැත්නම්, මැතිවරණයකින් අනුමත වෙලත් නැත්නම්, ඒක අනුමත කරන්න ජනතාව ඉදිරිපත් වුණයි කියලා කියන්න බැහැ. ඒ නිසා ආණ්ඩුවට කියනවා අපි, ඒ තරම්ම උවමනාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට යන්න. ජනමත විචාරණයකට ගිහිල්ලා, මේක හරිද වැරදිද කියලා ප්‍රශ්න කරන්න. එතකොට මහජනතාව පොදු තීන්දුවක් දෙයි."

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"මේක පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් කියලා අපි කියන්නේ, මෙහි ඇත්ත අරමුණ, මෙහි යටි අරමුණ, දෙසැම්බර් මාසේ පළවෙනිදාට විශ්‍රාම ලබන්න සිටින අගවිනිසුරුතුමා තවත් වසර දෙකක් තබා ගැනීමට වීමයි. මේක ගෙනෙන්නේ අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබා දීමේ කූට අරමුණෙන් නෙවෙයි නම්, මේ ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර් මාසේ පළවෙනිදාට පස්සේ ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝගයක් කරනවා. බංග්ලාදේශයේ, නේපාලයේ, ඉන්දියාවේ තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී සිටියත්, ලංකාවේ අරගලය අවස්ථාවේ එහෙම දෙයක් වුණේ නැහැ. පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවත්, ජනාධිපති මන්දිරයේ ගිනි තැබුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තියන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ මේ රටේ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය සහ විශ්වාසය නිසා. මේ 22 වෙනි සංශෝධනය හරහා මේ රටේ ජනතාවගේ සිත් තුළ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය නැති කරලා, මේ රටේ ජනතාව අධිකරණයට එරෙහිව පාරට බහින තත්ත්වයක් ඇති කරන්න එපාය කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා."

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ හිමිව ඇත්තේ කැබිනට් රැස්වීමේදීයි.

ඒ අනුව අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනවක් සකස් කෙරෙනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග අණාවරණ කළේ.

සෙසු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සදහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අදාල කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.