පවතින වර්ෂාපතනය සමග ගංගා ජල මට්ටම වැඩිවීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පවසනවා.

එබැවින් ගංගා දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ප්‍රකාශ කෙරුණේ.

''මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය තවදුරටත් වැඩිවීමේ තත්ත්වයකුත්, මේ වන විටත් ඇතැම් ජලාශවල ජල මට්ටම ඉහළ යාම්, විශේෂයෙන්ම දැදුරුඔය ජලාශයේ ජල මට්ටම අඩු කිරීම සඳහා වාන් දොරටු මේ වන විටත් විවෘත කරලා තියෙනවා. තත්පරයට ඝන අඩි 1400 ක විතර ප්‍රමාණයක් අපි ඉවත් කරමින් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාපතන වැඩිවීමත් සමග බොහෝ ගංගාවල ජල මට්ටම බොහෝ දුරට ඉහළ යාමේ හැකියාව තියෙනවා, සහ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය අපි වරින් වර නිකුත් කරන නිවේදනත්, ඒ වගේම දත්ත පිළිබඳවත් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමත් කරනවා."

මේ මාසයේ ඉදිරි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මෙලෙස අදහස් පළ කළා.
"අපි බලාපොරොත්තු වෙනවා මෙම මාසයේ අවසාන සති දෙක වගේ වෙනකොට තවත් වැස්සේ වැඩිවීමක්. ඒ වගේම ඉදිරියේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයන් සමහර විට ඒවා තීව්‍ර වෙන්න ඉඩකඩකුත් තියෙනවා. ඒවා හටගැනීමත් එක්ක ඉතා තීව්‍ර වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගංවතුර, නායයාම් පවා ඇතිවෙන්න බොහෝ දුරට ඉඩකඩක් තියෙනවා. අපි මෙම එල්නිනෝ තත්ත්වයත් 2024 පෙබරවාරි දක්වාම පවතින්න තියෙන සම්භාවිතාව ගෝලීය වශයෙන් මේ වනවිට 100% ක් විදිහට පූර්වකථනය වෙනවා."