අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරු අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා විවෘත අධිකරණයේ විත්තිකරුවන්ට කියවාදීම සිදුවුණා.
එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වන දා දක්වා කල් තැබුණා.
2006 වසරේ නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.