කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඇදහැලෙන තද වැසි සමඟ නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ අවදානම Cගොස් ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතා ආරක්ෂක උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වනවා.

නිවාස අවට ඇති කාණු පද්ධති පිරිසිදු කර වැසි ජලය ඉක්මනින් ගලායාමට පහසුකම් සලසන ලෙසත්, නිවසට ඉහළින් පිහිටි බර ගස් සහ අවදානම් සහිත වස්තූන් හැකි තරම් ඉවත් කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම නිවාස පිටුපස උස් පස් කණ්ඩි හරහා වැසි ජලය ගලා නොයන පරිදි ආරක්ෂිත කාණු පද්ධති සකස් කර ගැනීම සහ වහලයෙන් වැටෙන ජලය නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙනු ලබනවා.

නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, සැකසහිත තත්ත්වයන් වාර්තා වුවහොත් වහාම ග්‍රාම නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.